ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට බෝට්ටුවෙන් ගිය විදේශිකයෙකු අල්ලයි

    July, 27, 2022

    නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් තමිල්නාඩුවට ඇතුළු වූ පෝලන්ත ජාතිකයෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ‘ද හින්දු‘ වාර්තා කර සිටී.

    පොලිස් ආරංචි මාර්ගවලට අනුව, Matuszewski Wladyslaw Francisze (40) ලෙස හඳුනාගෙන ඇති පෝලන්ත ජාතිකයා 2019 දී සංචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු සිය වීසා කාලය ඉක්මවා මෙරටට රැඳී ඇති බව වාර්තා වී තිබේ.

    රබර් ඩිංගි බෝට්ටුවකින් Point Calimere ප්‍රදේශයට ගොඩ බැස සැඟවී සිටි ඔහු පසුගිය ඉරිදා දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මොහු විමර්ශකයින්ට පවසා ඇත්තේ ඔහු නැවත සිය රටට යාමට බලාපොරොත්තුවෙන් Point Calimere වෙත ගොඩ බැස ඇති බවයි. ඔහු ශ්‍රී ලංකාවේ අපරාධ වරදකට සම්බන්ධ බවත් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

    මේ අතර චීන ජාතිකයන් කිහිප දෙනෙකු මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට ඇතුළු විය හැකි බවට ඉන්දියානු මධ්‍යම බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ‘ද හින්දු‘ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.