ශ්‍රී ලංකාව අද සිට විදෙස් සංචාරකයින්ට නැවතත් විවෘත වේ

    January, 21, 2021

    අද (21) දින සිට ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර සංචාරකයින් පිළිගැනීමට සූදානමින් සිටී. කොවිඩ් 19 වසංගතය නිසා සංචාරකයින් හට මෙරට පැමිණීමට අවස්ථාව උදා වන්නේ මාස 10 කට පමණ කාලයකට පසුව වීම විශේෂත්වයකි.

    මෙලෙස ජාත්‍යන්තර සංචාරකයින් හට මෙරට සංචාරය සඳහා දොරටු විවර වන්නේ සංචාරකයින්ගේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව මූලික කරගත් ආරක්ෂණ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග ගණනාවක් ස්ථාපනය කිරීමෙන් පසුවය.

    මේ ක්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් සුවිශේෂීතම කරුණක් වන්නේ සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ගත කිරීමට අවශ්‍ය අවම දින ගණන පිළිබඳව නියමයක් නොමැති වීම සහ ඔවුන්ට නිරෝධායනය වීමකින් තොරව තමන් නවාතැන් ගන්නා හෝටලයේ පිහිනුම් තටාක, සම්බාහන මධ්‍යස්ථාන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු සියලු පහසුකම් විඳීමට අවස්ථාව හිමි වීමයි.

    ඡායාරූපය - අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා සංචරණ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් මෙරටට සංචාරකයින් පැමිණිමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සංග්‍රහය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිරිනැමූ අවස්ථාව.