ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්න ප්‍රංශ-බෙල්ජියම් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් පැමිණෙයි

    January, 20, 2020

    ප්‍රංශයේ සහ බෙල්ජියමේ කීර්තිමත් මාධ්‍ය ආයතන 20 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 20කට අධික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය 18 දා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සංචාරය කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

    Connaissance de Ceylan සහ Theme Resorts & Spas හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මුලපිරීමකට අනුව මෙම සංචාරය සංවිධානය කරන ලදී. ප්‍රංශයේ ප්‍රමුඛතම සංචාරක සේවා මෙහෙයුම් සමාගමක් වන Salaun Holidays හි හිමිකරු සහ සභාපති Michel Salaun මහතා ද මෙම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවට පැමිණි මෙම විදෙස් මාධ්‍යවේදීන් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත අතිමහත් ප්‍රවර්ධනයක් අරමුණු කර ගනිමින් ඔවුන්ගේ මෙම සංචාරය ක්‍රියාත්මක වේ. අතීතයේ දී ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පිරිසක් පැමිණි මූලාශ්‍රයක් වූ ප්‍රංශයෙන්, ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණක් වේ.

    පසුගිය 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රංශ සංචාරකයින්ගේ සංඛ්‍යාව 6,824 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 පැමිණි 9,475 ක්වූ සංචාරකයින් සංඛ්‍යාවට වඩා 28% ක පහළ යාමකි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසරේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් අතර ප්‍රංශය 9 වැනි ස්ථානයේ පසුවේ.