ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 11.3 ක් ණයයි. මේ ණය ගෙවන්න පුළුවන් ද? පිළිතුර ඔව්.

    December, 3, 2018

    ශ්‍රී ලංකාව එළඹෙන වසරේ දී ගෙවීමට බැඳී ඇති ණය ප්‍රමාණය ගෙවීම සඳහා සූදානම් දැයි යන ප්‍රශ්නයට පිළිතුර ‘ඔව්‘ බව මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි. ජාතික ආර්ථික සභාවේ මහලේකම් සහ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරයා වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා (30) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දී අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සමරකෝන් මහතා මෙසේ පැවසිය.

    “අපිට රුපියල් ට්‍රිලියන 11.3 ක සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. ආසන්න වශයෙන් මෙය ඇමරිකානු ඩොලර් බිලියන 63 ක්. මෙයින් රුපියල් ට්‍රිලියන 5.5 ක්, එනම් ඩොලර් බිලියන 30 ක් විදේශීය ණය. රුපියල් ට්‍රිලියන 5.8 ක්, එසේත් නැතිනම් ඩොලර් බිලියන 32 ක් දේශීය ණය. වැදගත් කරුණ තමයි, දළ ජාතික නිෂ්පාදිතයෙන් රාජ්‍ය ණය අනුපාතිකය පසුගිය වසරේ දී 78% ක්. අපේ රටට මේ ණය ගෙවන්න පුළුවන් කමක් තිබෙනවාද? ඔබ දන්නවා ද මෑතක දී මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැම්මා.“

    “ශ්‍රී ලංකාව සාමාන්‍ය වශයෙන් වසරක දී ඩොලර් බිලියන 5 ක විදේශ ණය ගෙවීමට බැඳී සිටිනවා. මීළඟ වසර 5 තුළ ද සෑම වසරක දීම ඩොලර් බිලියන 5ක විදෙස් ණය සාමාන්‍යයක් අප ගෙවිය යුතුයි. එය තමයි ඊළඟ වසර 5 තුළ අපේ ණය ආපසු ගෙවීමේ පිංතූරය.“

    “ශ්‍රී ලංකාවට මෙම ණය සේවාකරණය සඳහා හැකියාව සහ වුවමනාව තිබෙනවා. රජය මෙම ණය ගෙවීමට බැඳී සිටිනවා. මෙකී ණය ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන සියලු වෙන්කිරීම් කරලා තිබෙනවා. අපිට මෙම ණය ගෙවීමට අවශ්‍ය අරමුදල් සහ වෙන්කිරීම් තිබෙනවාද? ඒ ප්‍රශ්න දෙකටම පිළිතුර ඔව්. ශ්‍රී ලංකා රජයට මෙම ණය නීත්‍යානුකූල ලෙස ගෙවීමට පුළුවන්කම තිබෙනවා.“

    මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.