ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කරයි

    May, 9, 2024

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Limited - SLICGL), කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය සම්බන්ධයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා Courtyard by Marriott Colombo හිදී පැවැත්වී ය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ලද්දේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවදානම් අවම කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධයෙනි.  

    මෙහිදී කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණ සැලසුම්වල ආවරණ පරාසය, ප්‍රතිලාභ, අවදානම් තක්සේරුකරණය, රක්ෂණ සැලසුම්වල විශේෂාංග, හිමිකම් මුදල් ඉල්ලීම් කළමනාකරණය සහ අනපේක්ෂිත අවදානම් හා වගකීම් සම්බන්ධ අවදානම් අවම කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද ආදිය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

    එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා රැකවරණය ලබාදෙන අතරම එම ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා සහය වීමට SLICGL සමාගම දක්වන උනන්දුවද මෙහිදී අවධාරණය කෙරිණි. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යන දෙපාර්ශ්වයම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළදී මුහුණ දෙන අවදානම් කළමනාකරණ අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා වැදගත් වන අර්ථවත් සංවාදයක් නිර්මාණය කිරීම සමාගමේ අරමුණ වී තිබේ.

    මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම වයඹ විශ්ව විද්‍යාලයේ රක්ෂණ සහ තක්සේරුකරණ අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස කටයුතු කරන ආචාර්ය වීදිගේ එස්. සංජීව මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය පිළිබඳව හසළ දැනුමක් ඇති ඒ මහතා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවදානම් කළමනාකරණය සඳහා එම රක්ෂණ භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මැනැවින් කරුණු පැහැදිලි කළේ ය.

    ඊට අමතරව කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණවල විශේෂ ලක්ෂණ, ඒවායෙහි ආවරණ පරාසය, ප්‍රතිලාභ, අවදානම් තක්සේරුකරණය,  වන්දි ඉල්ලීම් කළමනාකරණය සහ අනපේක්ෂිත අවදානම් අවම කිරීම සඳහා අනුගමනය කළ හැකි විශිෂ්ටතම ක්‍රමවේදයන් ආදිය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී සාකච්ඡාවට බඳුන් විය. මෙම වැඩසටහන මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ට එම ක්ෂේත්‍රයේ අනපේක්ෂිත අවදානම්, වගකීම් සහ මුල්‍යමය අලාභයන් අවම කරගන්නා ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් ලබාදුන් වැඩසටහනක් විය.

    ඉදිකිරීම් සමාගම්වල රැකියාවේ නියුතු අය, කොන්ත්‍රාත්කරුවන්, කළමනාකරුවන්, ඉංජිනේරුවන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සාමාජිකයන්ට තම ව්‍යාපෘති තුළදී ස්වාභාවික උපද්‍රව, බාහිර පාර්ශ්වයන් සම්බන්ධ වගකීම් සහ හදිසි අනතුරු වැනි අවදානම් රැසකට මුහුණදීමට සිදු වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය යනු මෙවැනි අවදානම් මගින් සිදුවන බාධා සහ මුල්‍යමය අලාභ අවම කරගැනීම සඳහා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි විසඳුමකි.