ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරියේ දී පහළට

    March, 19, 2019

    නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2019 පෙබරවාරි මාසයේදී, විශේෂයෙන්ම නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි සිදුවූ අඩු වීමට සමගාමීව තොග මිළදී ගැනීම් වල ද අඩු වීමක් දක්නට ලැබුණි.

    ‍‍කෙසේ වුවත්, ඉදිරි උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කර ගැනීමේ අරමුණින් කරන ලද නව බඳවාගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියෙහි සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සුළු වැඩි වීමක් දක්නට ලැබුණි. පෙබරවාරි මස මුල් භාගයේදී ඇතිවූ සැපයුම් ගෙන්වා ගැනීමේ ගැටළු සහ චීන අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් ඇතිවූ බාධා, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි වැඩි වීමට හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනය යන උප දර්ශක හැරුණුකොට අනෙකුත් සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.