ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත්

    March, 6, 2020

    ජාත්‍යන්තර වාණිජ ගිවිසුම් සහ වෙනත් ජාත්‍යන්තර සබඳතා ආශ්‍රයෙන් පැන නැගෙන ආරවුල් නිරාකරණය කරගැනීම පිණිස කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා 2012 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. තව ද, එකී මධ්‍යස්ථානය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ස්ථාපනය කිරීම 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ආර්බිට්‍රේෂන් සෙන්ටර් (ගරන්ටි) ලිමිටඩ් සමාගම 2016-12-20 දින සංස්ථාගත කර ඇත.
    ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථාන තුළින් විශාල ආදායමක් උපයා ගැනීමට ඇතැම් රටවල් ක්‍රියා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම තුළින් කලාපයේ රටවල වෙළඳ කටයුතුවලදී බේරුම්කරණයන් මෙරට බේරුම්කරණ මධ්‍යස්ථානය වෙත යොමු කරවා ගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වාසිදායක වනු ඇත. ඒ අනුව, දැනට පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත් ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    එසේම, ඉදිරියේදී රජයේ ආයතන විසින් එළඹෙන ගිවිසුම්වල බේරුම්කරණයට අදාළ විධිවිධාන ඇතුළත් කිරීමේදී එවැනි බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය මඟින් සිදු කළ යුතු බවට වන විධිවිධාන එකී ගිවිසුම්වල ඇතුළත් කළ යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී