ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2020 පළමුවැනි කාර්තුවේ මෙහෙයුම් ලාභය 28% ක ඉහළ ප‍්‍රතිශතයකින් රුපියල් බිලියන 3.2 දක්වා වාර්තා කරයි

    June, 11, 2020

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප‍්‍රගතිය ප‍්‍රකාශයට පත්කොට ඇත.

    මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1 ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 21.3 ක ආදායම හා සැසඳීමේදී 3.8% ක ඉහළ වර්ධනයකි.

    මෙහෙයුම් වියදම් මෙන්ම ප‍්‍රාග්ධන වියදම්ද විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම තුලින් 5%, හෙවත් රුපියල් මිලියන 704 ක පිරිවැය ඉතිරි කිරීමට සමූහය සමත්විය. ක්ෂය හා ලියාහැරීම් වල වර්ධනය හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ප‍්‍රමිතීන්ට අනුකූලව කල් ඉකුත්වූ ණයගැතියන් සඳහා වෙන්කිරීම් රුපියල් මිලියන 536 කාර්තුව තුළ වාර්තා විය. එසේ වුවද සමූහය පළමු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභය 28.6% ක ප‍්‍රතිශතයකින් රුපියල් බිලියන 3.2 දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.

    COVID-19  වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයට රුපියල් මිලියන 683 ක විනිමය පාඩුවක් දරන්නට සිදුවූ අතර එය පසුගිය වසරේ වාර්තා කළ රුපියල් මිලියන 172 ක විනිමය ලාභයට සාපේක්ෂව කැපීපෙනෙන අපගමනයකි.

    විදුලි සංදේශ ජාල පද්ධතිවල යටිතල පහසුකම් ප‍්‍රවර්ධනය වෙනුවෙන් වාණිජමය ණය ගැනීම් පසුගිය වසරවලදී වැඩි වූ අතර එය සමූහයේ පළමු කාර්තුවට අදාල මූල්‍ය වියදම රුපියල් මිලියන 317කින් වැඩිවීමට හේතුවිය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.9 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 14.6% ක අඩුවීමකි. කල් ඉකුත්වූ ණයගැතියන් සඳහා වෙන් කිරීම්, විනිමය පාඩු සහ වැඩිවුණ මූල්‍ය වියදම් මෙම සාපේක්ෂ අඩු ලාභ වර්ධනයට ප‍්‍රධාන වශයෙන් බලපාන ලදී. එම කාලසීමාවට අදාලව ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය රුපියල් බිලියන 4.4 ක් සෘජු හා වක‍්‍ර බදු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවා ඇත.

    පළමු කාර්තුවේ අවසාන භාගය COVID-19 වසංගතයේ බලපෑමට නතු වූ අතර ප‍්‍රකාශිත සෞඛ්‍ය නීති රීති ප‍්‍රකාරව සිය සේවා අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජාතික දුරකතන සේවා සැපයුම්කරුවා ලෙස සමත් විය. මේ සඳහා සමාගමේ අඛණ්ඩ ව්‍යාපාර පවත්වාගෙන යාමේ සැලැස්ම (Business Continuity Plan) මහෝපකාරී විය. දුරකතන සහ දත්ත සේවා පැකේජයන් රැුසක් සහනදායී මිලකට මෙන්ම නොමිලේ පිරිනැමීමක් ලෙස, විවිධ පාරිභෝගික කොටස් වෙත ලබාදීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු කරන ලදී.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා ගතවූ කාර්තුවේ මූල්‍ය වාර්තාව පිළිබඳ අදහස් දක්වමින්  "COVID-19  වසංගත තත්ත්වයේදී ජාතික වගකීමක් ලෙස අඛණ්ඩව සේවා ඉටුකරන්නට එකමුතුව අනලස්ව වෙහෙසුණු ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ කළමනාකාරීත්ව කණ්ඩායම සහ සේවක මණ්ඩලය පිළිබඳ මා බෙහෙවින් ආඩම්බර වෙනවා. SLT සහ මොබිටෙල් පාරිභෝගිකයන්ට නොමිලේ අසීමිත දත්ත සේවා පහසුකම් රැසක් සපයා දෙමින් පවුලේ සාමාජිකයන් හා ළබැඳි නෑ හිත මිතුරන් සමග ඉතාම අසීරු අවස්ථාවක වුවත් තනි නොවී එක්ව සිටින්නට අවස්ථාව සලසා දෙන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයට හැකිවුණා. එවැනි වසංගත අවස්ථාවකට මුහුණදීමට පමණක් නොවෙයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය  ඕනෑම නව්‍යකරණය තුළින් ජනිතවන්නා වූ සුහුරු හා වෙනත් නව ව්‍යාපාරික අවස්ථාවන් ග‍්‍රහණය කරගැනීමටද ශක්තිමත්ය."යැයි පැවසීය.

    ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්  "ලොවටම එක ලෙස බලපෑ වසංගත තත්ත්වයක් සමග වුවද නොසැලූණ මූල්‍ය ස්ථාවරත්වයක් වාර්තා කරන්නට අපට හැකි බව මුල් කාර්තුවේ ප‍්‍රතිඵල තුලින් පෙන්නුම් කරනවා. පාරිභෝගිකයන්ගේ වැය කළ හැකි  ආදායම් අඩුවීම් තත්ත්වයන් මෙන්ම නියාමන උපදෙස් වලට අනුගතව ගෙවීම් නොකළ පාරිභෝගිකයන්ගේ සේවා විසන්ධි නොකර බිල්පත් ආදායම් රැස්කිරීම කෙටිකාලීන අභියෝගයකි. මෙවැනි ව්‍යසන අවස්ථාවක විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර අපගේ සේවක මණ්ඩලයට සහ පාරිභෝගික භවතුන්හටත් නිරන්තරයෙන් ප‍්‍රමුඛත්වය ලබා දෙනවා." යැයි පැවසීය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ප‍්‍රියන්ත ෆර්ඩිනැන්ඞ්ස් මහතා අදහස් දක්වමින්  "මේවනවිට ආරම්භ කර තිබෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා වන ජාතික ෆයිබර් ජාල සම්බන්ධතා ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් දිවයින පුරා විසිරී සිටින ගෘහස්ත, ව්‍යාපාර හා රාජ්‍ය අංශ ග‍්‍රාහකයන්ට වැඩිදියුණුකළ සුපිරි අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් පහසුකම් ලබාදෙන්නට සූදානම්. ඒ යටතේ උසස් තත්ත්වයේ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය විනෝදාස්වාද සේවා සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන්නට අපට හැකිවෙනවා. මෑතකදී අප හඳුන්වා දුන් අපගේ ගෝලීය සන්නාමයක් වන Xyntac ජාත්‍යන්තර තලයේ ස්ථාවර තත්ත්වයකට ළඟාවනු ඇත. ඒ අනුව තාක්ෂණය සමග නිරන්තරව වෙනස්වන ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට අනුගතව දුරකතන, දත්ත සේවා හා නව්‍යය සුහුරු සේවාවන් ලබාදෙන්නට අපට හැකිවනවා." යැයි පැවසීය.