ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය, උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් උසස් කෙරේ

    January, 5, 2017

    ශ්‍රී ලංකාවේ පේෂකර්ම සහ ඇඟලුම් කර්මාන්තයේ පුහුණු කිරීම්, තත්ත්ව පරීක්ෂණ, කාර්මික සහ උපදේශන සේවා සැපයීමේ කාර්යයේ, 'ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය' නිරතව සිටී.

    දැනට වසරකට 4,500ක පමණ ශිෂ්‍ය පිරිසක් මෙම ආයතනය වෙතින් කෙටිකාලීන සහ දිගුකාලීන පාඨමාලා හදාරනු ලබන අතර දැනට ඉල්ලුමට සරිලන පරිදි පුළුල් පරාසයකින් සහතික පත් සහ ඩිප්ලෝමා මට්ටමින් පාඨමාලා පවත්වනු ලැබේ.

    රැකියා වෙළඳපොළේ තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාව එහි ශිෂ්‍යයන් වෙත ලබා දීමේ අරමුණින්, ඉන්දියාවේ, පන්ජාබ්හි පිහිටි ලව්ලි වෘත්තීයමය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් මෙම ආයතනය උසස් කිරී‍මට යෝජනා වී තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය සහ ඉන්දියාවේ, පන්ජාබ්හි, ලව්ලි වෘත්තීයමය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.