ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

    December, 13, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2018 වසරේ දෙසැම්බර් මස 07 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් වාර්ෂික ව පවත්වනු ලබයි. මෙම වසරේ සමුළුව “උද්ධමන ඉලක්කකරණය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය” යන තේමාව යටතේ පවත්වනු ලැබී ය.

    සමුළුවේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් පවත්වන ලදී. සමුළුව අමතමින් මහ බැංකු අධිපතිතුමා සාර්ව ආර්ථික සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ආර්ථිකයේ සහ වෙළඳපොළේ ඉහළ යන සංකීර්ණ බව සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය සඳහා යොමු වීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කෙටියෙන් පැහැදිලි කළේ ය. සමුළුවේ ප්‍රධාන දේශනය, ඉන්දියානු සංඛ්‍යාන ආයතනයෙහි (ISI) ආර්ථික විද්‍යාව සහ සැලසුම්කරණය ඒකකයේ ආර්ථික විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු මෙන් ම ඉන්දියානු සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු ද වන මහාචාර්ය චේතන් ඝතේ මහතා විසින් පවත්වනු ලැබී ය. “Monetary Business Cycles: Evidence from India” මැයෙන් වූ සිය ප්‍රධාන දේශනයේ දී මහාචාර්ය ඝතේ මහතා උද්ධමන ඉලක්කකරණ රාමුවක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමෙහිලා කාර්යක්ෂම මුදල් ප්‍රතිපත්ති යාන්ත්‍රණයක ඇති වැදගත්කම අවධාරණය කළේ ය. අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය හාන්ස් ගෙන්බර්ග් මහතා විසින් “On the Role of the Exchange Rate in an Inflation Targeting Strategy” යන මැයෙන් ආරාධිත දේශනය පවත්වන ලදී. ආචාර්ය ගෙන්බර්ග් මහතා සිය දේශනයේ දී සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව යන අවසාන අරමුණු සමඟ මහ බැංකු විධිවිධානයන් මනා ව අනුකූල විය යුතු බව සහ මහ බැංකුවේ මෙම අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙවලමක් ලෙස විනිමය අනුපාතිකය සැලකිල්ලට ගත යුතු බව පැහැදිලි කළේ ය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහ නියෝජ්‍ය අධිපති කේ.ඩී. රණසිංහ මහතා සමුළුවේ තාක්ෂණික සැසි දෙකෙහි මුලසුන හෙබ වූ හ. දැඩි ඇගයීම් ක්‍රියාවලියක් තුළින් තෝරා ගනු ලැබූ, සාර්ව ආර්ථික සහ මූල්‍ය අංශයේ ගැටලු පිළිබඳ විග්‍රහ කෙරෙන පර්යේෂණ පත්‍රිකා අටක්  ඕස්ට්‍රේලියාව, චිලී රාජ්‍ය, ජර්මනිය, ඉන්දියාව, මෝල්ටා රාජ්‍යය සහ ශ්‍රී ලංකාව යන රටවල් නි‍යෝජනය කරමින් පැමිණි පර්යේෂකයන් මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂකයන් විසින් මෙහි දී ඉදිරිපත් කරන ලදී. පර්යේෂණවල විශිෂ්ඨත්වය ඇගයීමට ලක් කරමින්, හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා පිරිනමන ආචාර්ය ඩී. එස්. වි‍ජේසිංහ අනුස්මරණ සම්මානය චිලී රාජ්‍යයේ මහ බැංකුවේ ආචාර්ය මයිකල් පෙඩර්සන් මහතා විසින් ඉදිරිපත් කරන ලද “Understanding De-anchoring of Inflation Expectations: Evidence from Chile” යන පර්යේෂණ පත්‍රිකාව සඳහා හිමි විය.