ශ්‍රී ලංකා රුපියල කොරෝනා වෛරසයට ගොදුරු වුණු හැටි. ඩොලරයේ අද විකුණුම් මිල රු. 192.45 යි

    March, 31, 2020

    2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය විය.

    අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් 2020 මාර්තු 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල, එක්සත් ජනපද ඩොලරය, යූරෝ හා ජපන් යෙන්වලට සාපෙක්ෂව අවප්‍රමාණය වූ අතර ස්ටර්ලිං පවුම, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

    මේ අතර අද (31) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.35 ක් හා විකුණුම් මිල රු. 192.45 ක් ලෙසින් සටහන්ව තිබිණ.

    ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    ගෝලීය හා දේශීය වෙළෙඳපොළ අවිනිශ්චිතතාවයන් විසින් ඇති කරන ලද මූලික පීඩනය, විශේෂයෙන් 2020 මාර්තු මස අග භාගයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ මගින් අත්විඳින ලදී. මූලික වශයෙන් සමපේක්ෂණ වෙළෙඳපොළ හැසිරීම සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වූ විදේශ ආයෝජන ගෙවීම් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක් දක්නට ලැබුණි. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ යම් මැදිහත්වීමක් සිදුකිරීම, සියලුම පුද්ගලික මෝටර් රථ සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අත්හිටුවීම, ගමන් වියදම් සඳහා එක්සත් ජනපද ඩොලර් 5,000 ක් දක්වා උපරිමයකට යටත්ව විදේශ මුදල් නිකුත් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවීම ඇතුළු හදිසි මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය පියවර ගණනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී.