ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂකයින්ට අවශ්‍ය වූ මොහොතක කර්මාන්ත දැනුම ලබා ගැනීමට 99X Technology උපකාරී කරයි

    August, 10, 2020

    කොවිඞ්-19 වසංගතය නිසා ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපනයට ඇති බලපෑම අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන, 99X Technology හි විශ්වවිද්‍යාල ව්‍යාප්ති වැඩසටහන වන ‘Dotitude’ රට පුරා පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වෙබ් සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ.

    සියලූම සමාගම්වලට එමෙන්ම සරල දෛනික ක‍්‍රියාකාරකම්වලට පවා බාධා ඇති වී තිබෙන, ඩිජිටල් වේදිකාවට පිවිසීමට දුෂ්කර වී තිබෙන කාලයක, ‘Xians’ ලෙස තමන්ව හඳුන්වා ගන්නා 99X Technology සේවකයින් මෙම වසංගතය නිසා තමන්ව අධෛර්යයට පත් නොවුණ බව පවසයි. මෙහිදී ඔවුන් වසර ගණනක් තිස්සේ යුරෝපීය සේවාදායකයින් සඳහා සංවර්ධනය කළ, තමන් මීට පෙර යොදා ගත් හුරුපුරුදු ක‍්‍රමවේදයක් මනාව සකස් කොට දිවයින පුරාම සිටින උපාධි අපේක්ෂකයින් වෙත ළඟා වීම සඳහා භාවිතා කරයි.

    ‘Xians’ කණ්ඩායම නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමඟ ඔන්ලයින් සැසි පැවැත්වීම පටන්ගත් අතර basic programming හඳුන්වා දීමේ සිට මෘදු කුසලතා සංවර්ධනය සහ CV ලිවීම දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කොට ඇත. වර්තමානයට බෙහෙවින් ගැලපෙන පශ්චාත් කොවිඞ් අභියෝග සහ අවස්ථාවන්ආදී මාතෘකා යටතේ වන වෙබ් සම්මන්ත‍්‍රණ ද මෙයට ඇතුළත් වේ.

    ‘‘අප හැමවිටම ශ්‍රී ලාංකික වියතුන් හා උපාධි අපේක්ෂකයින් සමඟ සමීපව කටයුතු කිරීම සහ අපගේ දැනුම බෙදා ගැනීමට කැපවී සිටිනවා. සීමාවන් තිබියදීත්, අපගේ සේවකයින් මෙම සිසුන් සමඟ ඔවුන්ගේ කුසලතා බෙදාහදා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව දැකීම සතුටක්,’’ යැයි 99X Technology හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ප‍්‍රධානී සහ ‘Dotitude’ කළමනාකාර, අනුර අධිකාරී මහතා පැවසුවේය. ‘‘ඇත්ත වශයෙන්ම, මෙම online සැසිවලට ස්තූතිවන්ත වෙන්න අප අන් කවරදාටත් වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් වෙත අපගේ සේවය ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ සියල්ලම තම නිවෙස්වල සිට කාර්යාල කටයුතු කරගෙන යන කණ්ඩායමේ විශිෂ්ට උත්සාහයක්.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    99X Technology හි විශ්වවිද්‍යාල ව්‍යාප්ති වැඩසටහන වන ‘Dotitude’ දශකයකට ආසන්න කාලයක් ක‍්‍රියාත්මක වන අතර ඒ කාලය තුළ විවිධ ක‍්‍රියාකාරකම් තුළින් උපාධි අපේක්ෂකයින් 50,000කට වැඩි සංඛ්‍යාවකට සෙත සලසා ඇත. පසුගිය වසර තුළ පමණක් මෙම වැඩසටහන විශ්ව විද්‍යාල 12ක් සහ උසස් අධ්‍යාපන ආයතනවල සහයෝගයෙන් උපාධි අපේක්ෂකයින් 3500 කට වැඩි සංඛ්‍යාවකට සෙත සලසූ අතර පර්යේෂණ ව්‍යාපෘති 15ක් සඳහා ද සහාය දක්වා ඇත.

    මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අංශ ප‍්‍රධානී, කල්පනා ගලප්පත්ති මහත්මිය, මෑතකදී පැවැත්වූ සැසියක් පිළිබඳව අදහස් දක්වමින් ‘‘අපගේ ආරාධනය පිළිගෙන ඔබගේ කණ්ඩායම සමඟ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් අතර සිටින අපගේ පළමු NDT සිසුන් කාණ්ඩය සඳහා ඉතා හොඳ අධ්‍යාපනික හා උද්යෝගිමත් සැසියක් පැවැත්වීම පිළිබඳව 99X Technology සමාගමට බොහෝ ස්තූතිවන්ත වෙනවා. තරුණ පරම්පරාව දැනුමෙන් පොහොසත් කිරීම සඳහා වූ ඔබගේ යහපත් කාර්යය එලෙසම කරගෙන යන්න. අපගේ සිසුන්ගෙන් මේ සඳහා අපට ඉතා යහපත් ප‍්‍රතිචාර ලැබුණාx’’ යනුවෙන් පැවසුවාය.

    විශේෂයෙන්ම බොහෝ දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු අඩාල වූ කාලයක මෙම වෙබ් සම්මන්ත‍්‍රණ අතිශය ජනප‍්‍රිය වූ අතර ඇතැම් අවස්ථාවල එක් සැසියක් සඳහා සිසුන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීම ද දක්නට ලැබුණි. ‘ගුණාත්මක ඉංජිනේරුකරණය(Quality Engineering) පිළිබඳ ජනප‍්‍රි online සැසි මාලාවක් පළමුව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ උපාධි අපේක්ෂකයින් සඳහා පැවත්වූ අතර පසුව එය මහජනතාව සඳහා අන්තර්ජාලයට මුදා හැරිණි. අරවින්දන් රාම්රාජ්ගේ ‘Continuous Testing’, මහීෂ ලූනුවිල හා චානක උඩුවේරියගේ ‘Cypress’, ප‍්‍රනීත් චන්ද්‍රසේකරගේ ‘Security Testing’ සහ චමත් දිදුලන්ගගේ ‘Performance Testing’ ආදී මාතෘක මෙම සැසි තුළ දී ආවරණය කෙරිණි.

    ‘‘මෙවැනි සැසිවාර හරහා අපගේ අවධානය යොමු වී ඇත්තේ තාක්ෂණික අවකාශය තුළ නව සංවර්ධනයන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ උපාධි අපේක්ෂකයින්ට බොහෝ වෘත්තීයමය අවස්ථාවන් ඇති බව ද ඔවුන්ට පෙන්වීමටයි. උදාහරණයක් ලෙස අපගේ ගුණාත්මක ඉංජිනේරුකරණයපිළිබඳ සැසි මාලාව ගුණාත්මකභාවය සහතික කිරීමේ වෘත්තීයමය අවස්ථා පිළිබඳව විශාල වශයෙන් දැනුවත් කර තිබෙනවා,’’ යනුවෙන් මෙම සැසි මාලාව මෙහෙයවීමට ප‍්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළ 99X Technology හි ගුණාත්මකභාවය සහතික කිරීමේ ඉංජිනේරු ජයශානි ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

    ශ්‍රී ලංකාව ප‍්‍රධාන මූලස්ථානය කරගත් 99X Technology සමාගම යනු ස්කැන්ඩිනේවියානු වෙළෙඳපොළ සඳහා මනාව සැලසුම් කරන ලද නව්‍ය ඩිජිටල් නිෂ්පාදන සම-නිර්මාණය කරන නිෂ්පාදන ඉංජිනේරු සමාගමකි. ලොව ප‍්‍රමුඛතම Independent Software Vendors (ISVs) සමඟ 2004 වසරේ සිට සංවර්ධනය කරන ලද ගෝලීය ඩිජිටල් නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක් හරහා එම සමාගමේ විශේෂඥතාවය සනාථ වී ඇත. ඉහළ දක්ෂතා සපිරි, නිර්මාණාත්මක චින්තනයෙන් යුතු හා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥයින් 300කට අධික සංඛ්‍යාවක් 99X Technology හි සේවය කරයි. 2020 වසර සඳහා ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ද සමාගම නම් කෙරිනි. එමෙන්ම LMD සඟරාව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාන්විත සමාගම් 100 අතරට ද ශ්‍රේණිගත වූ සමාගම මෙරට සේවය කිරීමට සුදුසුම ආයතනයක් ලෙ Great Place To Work ආයතනය මඟින් අඛණ්ඩව හත්වතාවක් නම් කර ඇත.