ශ්‍රී ලාංකීය යතුරුපැදිකරුවන් වෙනුවෙන් Yamamoto Motor Corporation වෙතින් හඳුන්වා දෙන නව VOGE Experience Centre

    October, 16, 2026

    VOGE සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා වන Yamamoto Motor Corporation, සිය නවතම VOGE Experience Centre බම්බලපිටියේදී නිල වශයෙන් විවෘත කරමින්, උසස් තත්ත්වයෙන් යුතු යතුරුපැදි මෙරට වෙළඳපොළ වෙත ගෙන එමින් සිය සන්නාමය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේය.

    සාම්ප්‍රදායික ප්‍රදර්ශනාගාර සංකල්පයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති VOGE Experience Centre හරහා යතුරුපැදි භාවිත කරන්නන්හට VOGE යතුරුපැදි මාදිලි නිරීක්ෂණය කිරීමටත්, එහි ඉංජිනේරු නිපුණතාව සහ අතිනවීන තාක්ෂණයන් පිළිබඳව හැදෑරීමටත්, සජීවී අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව සලසා දෙයි. එමෙන්ම, වෘත්තීය මට්ටමේ පාරිභෝගික සහාය සහ සමස්ත පසු-අලෙවි සේවාවන් එක් තැනකට ගෙන එමින්, පාරිභෝගිකයන් වෙත විශිෂ්ට අත්දැකීමක් ලබාදීමට මෙම මධ්‍යස්ථානය කටයුතු කරයි.

    2018 වසරේදී ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දුන් VOGE, මේ වන විට යුරෝපය, ආසියාව, ලතින් ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක සිය වෙළඳපොළ හිමිකාරිත්වය සාර්ථකව තහවුරු කරගෙන ඇත. පුළුල් යතුරුපැදි නිෂ්පාදන හැකියාව සහ තාක්ෂණික සංවර්ධන නිපුණතාවන් සහිත VOGE සතු ඉංජිනේරු ශක්තිය, ජර්මානු BMW සමාගම සමඟ ඇති දීර්ඝකාලීන සහයෝගීතාව තුළින් තවදුරටත් තහවුරු වී තිබේ.

    VOGE හි ශීඝ්‍ර ජාත්‍යන්තර වර්ධනය එහි අලෙවි වාර්තා මඟින් ද මනාව පිළිඹිබු වේ. 2025 වසරේදී යතුරුපැදි 106,389 ක ගෝලීය අලෙවියක් සටහන් කළ VOGE, 2026 ජූලි මස අවසන් වන විට යතුරුපැදි 92,237 ක් අලෙවි කරමින්, පෙර වසරට සාපේක්ෂව 43.2% ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත.

    එදින, නව Experience Centre හිදී ප්‍රධානතම අංගයක් ලෙස VOGE R 125 S යතුරුපැදිය හදුන්වාදෙනු ලැබීය. ක්‍රීඩාශීලී නිමාව, අතිනවීන තාක්ෂණය සහ එදිනෙදා භාවිතයේ ප්‍රායෝගික බව සහිත මෙම යතුරුපැදිය, තනි සිලින්ඩරයකින්, වෑල් හතරක ද්‍රව-සිසිලන (liquid-cooled) 124.8cc එන්ජිමකින්, තිරිංග හයක පද්ධතියකින් සහ ඉලෙක්ට්‍රොනික ඉන්ධන (electronic fuel injection) පද්ධතියකින් සමන්විත වේ. තවද, අඟල් 7 ක වර්ණ LED උපකරණ පුවරුව, පූර්ණ LED ආලෝක පද්ධතිය, ඉදිරිපස කැමරාව, dual-channel ABS සහිත ඩිස්ක් බ්‍රේක් පද්ධතිය, upside-down ඉදිරිපස සස්පෙන්ෂන් සහ පිටුපස single-shock පද්ධතිය වැනි උසස් තාක්ෂණික අංග රැසක් මඟින් VOGE R 125 S හි විශිෂ්ට ධාවන කාර්යක්ෂමතාව සහ පහසුව තහවුරු කර ඇත.

    මෙම නිල විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් Yamamoto Motor Corporation හි ප්‍රධාන විධායක නිලධාරී රාජීව් චන්ද්‍රකුමාර් මහතා සඳහන් කළේ, “VOGE Experience Centre ආරම්භ කිරීම යනු ශ්‍රී ලාංකේය යතුරුපැදි ධාවකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයක් සහ  හිමිකාරිත්ව අත්දැකීමක් තිළිණ කිරීමට අප දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් බවයි. VOGE යනු නවීන සැලසුම්කරණය, උසස් ඉංජිනේරු තාක්ෂණය සහ අතිනවීන පද්ධති නිසා කැපී පෙනෙන සන්නාමයක්. ප්‍රේමියම් යතුරුපැදි සන්නාමයකින් පාරිභෝගිකයන් බලාපොරොත්තු වන විශ්වාසනීයත්වය, වෘත්තීය සේවාව සහ ගුණාත්මකභාවය සමඟින් මෙම සුවිශේෂී අත්දැකීම සජීවීව ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානය හරහා අප අවස්ථාව සලසා දී තිබෙනවා,” යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    මෙම නව VOGE Experience Centre විවෘත කිරීමත් සමඟ මෙරට ජනතාවට VOGE සන්නාමය සහ එහි නිෂ්පාදන සමඟ සමීපව කටයුතු කිරීමට නව මාවතක් විවර වේ. මෙම ආයෝජනය හරහා ජාත්‍යන්තර මට්ටමේ උසස් තත්ත්වයේ යතුරුපැදි දේශීය වෙළඳපොළට හඳුන්වා දීමටත්, විශ්වාසනීය පසු-අලෙවි සේවාවක් සහ දීර්ඝකාලීන පාරිභෝගික සහායක් ලබා දීමටත් Yamamoto Motor Corporation සතු කැපවීම නැවතත් තහවුරු කෙරේ.