July, 26, 2019
අනුකූලතා තක්සේරු පිළිබඳ ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලයේ (SLABCC) ආරාධනාව මත කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දින හතරක් පුරා පැවැත්වුණු ‘ශිල්පසේනා’ ප‍්‍රදර්ශනය තුළ ගණිත විද්‍යාගාරයක් ස්ථාපිත කළ අතර මේ සඳහා විවිධ වයස් මට්ටම්වල පාසැල් සිසුන්ගෙන් ඉතාමත් ඉහළ ප‍්‍රතිචාරයක් හිමිවිය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම ප‍්‍රදර්ශනයේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අංශය තුළ සංවිධානය කර තිබූ මෙම ගණිත විද්‍යාගාරය ප‍්‍රදර්ශනයට සහභාගී වූවන්ට ගණිත ක‍්‍රීඩා ඇතුළු ක‍්‍රියාකාරකම්වල යෙදීමේ අවස්ථාව ලබාදෙන ලදී. මෙමගින් ඔවුන්ට ගණිත මූලධර්ම පිළිබඳව දැනුමක් ලබාගැනීමටත් ඉතාමත් වැදගත් චින්තන කුසලතාවයන් දියුණු කර ගැනීමටත් මග පෑදුණි.
ශිල්පසේනා ප‍්‍රදර්ශනය විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය විසින් පැවැත්වූ අතර මෙහි අරමුණ වූයේ ජීවිතයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන නව නිෂ්පාදන සහ සේවා ප‍්‍රජාවට හඳුන්වාදීම දිරිමත් කිරීමයි.
කොමර්ෂල් බැංකුව විසින් මෙම ගණිත විද්‍යාගාර හෙවත් Math Lab සංකල්පය 2015 වසරේදී ප‍්‍රවර්ධනය කිරීම ආරම්භ කරන ලදී. මෙරට පාසැල් දරුවන්ගේ ගණිත සහ විශ්ලේෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා හිටපු ගුරුවරයෙකු මෙන්ම නව්‍ය ඉගෙනීමේ ද්‍රව්‍ය නිර්මාණකරුවෙකු වන එච්.ඒ. ධර්මසිරි මහතා මෙම Math Lab සංකල්පය හඳුන්වා දී තිබේ. සිසුන්ට ගණිත ගැටලූ ඉතාමත් පහසුවෙන් විසඳීමට අවශ්‍ය ගණිත මූලධර්ම දැනුම ලබාගැනීමට ඔහු විසින් ගණිත ක‍්‍රීඩා සහ ක‍්‍රියාකාරකම් 70 ක්ද නිර්මාණය කර ඇත.
සේයාරුවෙන් දැක්වෙන්නේ ශිල්පසේනා ප‍්‍රදර්ශනයේ පැවති කොමර්ෂල් බැංකුවේ ගණිත විද්‍යාගාරයේදී පාසැල් සිසුන් පිරිසක් ගණිත ක‍්‍රීඩා සහ තවත් ක‍්‍රියාකාරකම් සිදුකරමින් විනෝද වන ආකාරයයි.
Video Story