ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය 21 වැනි සියවසේ ඉගැන්වීම් හැකියාවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ පංති කාමර සවිබල ගන්වයි

    February, 26, 2017

    ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා - බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් ‘21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි.
    මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින් අධ්‍යාපනය පෝෂණය කිරීම, ගෝලීය පුරවැසිභාවය ප‍්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර විශ්වාසය සහ අවබෝධතාවය ගොඩනැගීම එහි ඉලක්කය වී තිබේ. බි‍්‍රතාන්‍යයේ සහ ශ‍්‍රී ලංකාවේ මෙන්ම වෙනත් විදෙස් රටවල පාසල් පද්ධතියේ පංති කාමර අතර සබඳතාවය ඇති කරමින් ගෝලීය වශයෙන් යෞවන යෞවනියන්ට තිබෙන ගැටළුකාරීත්වයන් පිළිබඳව ගුරුවරුන්ට දැනුම සහ අවබෝධය ලබා දීමට මෙම වැඩසටහන විශාල වශයෙන් උපකාරී වේ. 2012 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම වැඩසටහන හරහා 400කට අධික පාසැල් සම්බන්ධ වී ඇත. එමෙන්ම පාඨමාලා සහ අන්තර්ජාල පුහුණුවීම් හරහා 1000කට අධික ශ‍්‍රී ලාංකික ගුරුවරුන් පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීම මෙන්ම 650කට අධික විදුහල්පතිවරුන් පිරිසකට නායකත්ව හැකියාවන් වර්ධනය කරගැනීම සඳහාද මෙම වැඩසටහන මහෝපකාරී වී ඇත.

    2015 වර්ෂයේදී ඇරඹී 21 වැනි සියවසට අදාල වූ හැකියා ගුරු පුහුණුවෙහි අරමුණ වන්නේ 21 වැනි සියවසෙහි අධ්‍යාපන හැකියාවන් දේශීය පංති කාමර වෙත රැුගෙන ඒමයි. මෙම පුහුණුව මගින් පංති කාමර තුළ කාර්ය මූලික පර්යේෂණ තුළින් ශ‍්‍රී ලාංකික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත 21 වැනි සියවසට ඔබින හැකියාවන් 6ක් ලබා දෙන පුහුණු සංවර්ධන අවස්ථා හිමි වේ. ශිෂ්‍ය නායකත්වය සහ පුද්ගල සංවර්ධනය, පුරවැසිභාවය, සන්නිවේදනය සහ සහයෝගීතාවය, විචාරශීලී චින්තනය සහ ගැටළු නිරාකරණය, නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය සහ ඩිජිටල් සාක්ෂරතාවය යනු එම හැකියාවන් හයයි.

    පංති කාමර ක‍්‍රියාකාරකම් සමීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසුව එම ගුරුවරුන්ට බි‍්‍රතාන්‍යයේ සහයෝගීතා පාසලක් සමග වෘත්තීය සහයෝගීතාවයක් සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබිණි. මාස 18කට අධික කාලසීමාවකදී බි‍්‍රතාන්‍ය කවුන්සිලය මෙම පාඨමාලාව හරහා ගුරුවරුන් 800ක් සහ විදුහල්පතිවරුන් 250ක් වෙත පුහුණුව ලබා දී ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ කීත් ඬේවිස් මෙසේ පවසා සිටියේය. ”කැපවීමෙන් සේවය ලබා දෙන දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙකු හැර පංති කාමර සඳහා වෙනත් ආදේශකයක් නොමැති බව අපි දැඩිව විශ්වාස කරනවා. අද වන විට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන සිසුන් වෙත 21 වැනි සියවසට ඔබින නිවැරදි අධ්‍යාපන සන්නිවේදනයක් සිදුකිරීමේ හැකියාව ලැබී තිබෙනවා. අපගේ ගුරු පුහුණුවීම් හරහා නව ඉගැන්වීමේ හැකියාවන්ගෙන් සහ දැක්මකින් යුක්ත ගුරු ප‍්‍රජාවක් නිර්මාණය කිරීමේ අවස්ථාව සලසනු ලබනවා.”

    බි‍්‍රතාන්‍ය පාසල් 11ක් සහ නියෝජිතයින් 22ක්, දේශීය පාසල් 11ක් සමග මේ අවස්ථාවට සහභාගී වූ අතර, තෝරාගත් විදුහල්පතිවරුන්, පුහුණුකරුවන් සහ මධ්‍යම පළාත නියෝජනය කරමින් පුහුණු පාඨමාලාවන් සාර්ථකව හැදෑරූ ගුරුවරුන් මේ අවස්ථාවට සහභාගී වූහ.


    Captions (from left): Sajeewa Meepage - Manager Schools Programme, David Maynard - Deputy Country Director, Lucas Bak - Branch Manager Kandy, Karen Fulton - Head Teacher - St. Joseph's Academy, Scotland, Deepthi Wijesinghe - Assistant Manager Schools Programme, Shamali Jayarathna - Master cum Core Skills Trainer, Zonal Education Office, Kandy