June, 6, 2022
1999 අංක 51 දරණ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් මගින් ස්ථාපිත කර ඇති පුද්ගලික ආරක්ෂක කර්මාන්තය නියෝජනය කිරීම සඳහා වන ශ‍්‍රී ලංකාවේ එකම සංවිධානය ලෙස ක‍්‍රියා කරන කාර්මික ආරක්ෂණ පදනමෙහි (ISF) හි 30 වැනි වාර්ෂික මහා සභා රැස්වීම බොරැල්ලේ PIM ශ‍්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී 2022/2023 වසර සඳහා නව සභාපති ලෙස විංග් කමාන්ඩර් (විශ‍්‍රාමික) ප‍්‍රදීප් කන්නන්ගර මහතා තේරී පත් විය. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ආරක්ෂක කර්මාන්තය නංවාලීම සඳහා ISF සංවිධානයට ජවයක් එක් කරමින් ප‍්‍රදීප් කන්නන්ගර මහතා සභාපති ලෙස පත් වූ අතර තවත් 14 දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුව ද මෙදිනට තෝරාපත්කර ගන්නා ලදි.
පසුගිය වසර තුන තුළදීම අඛණ්ඩව විධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු හොබවන ලද අතර, ඔහු ISF හි කැපවූ සාමාජිකයෙකු ලෙස 2012 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ආරක්ෂක කර්මාන්තයට මහඟු දායකත්වයක් ලබාදුන් නිසා කීර්තිමත් FISF ගෞරව නාමයෙන් ද පිදුම් ලබා ඇත.
නව සභාපතිගේ පෞද්ගලික ආරක්ෂණ වෘත්තීයෙහි වසර 24කට වැඩි පලපුරුද්දක් ඇති අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවල සේවය කොට, අවසානයේ විශේෂ ගුවන් විහිදුම් ඒකකය භාර නිලධාරියා ලෙස සේවය කර ඇත. 1990 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිර්භීතකම, කැපකිරීම් සහ ජාතිය වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් රණසුර පදක්කමක් (RSP) ප‍්‍රධානය කර ඇත. ඔහු ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර එඩිත් කෝවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලබා AB Securitas Bangladesh Limited හි සහ ශ‍්‍රී ලංකාවේ AB Securitas (Private) Limited හි අධ්‍යක්ෂ මණ්ඩලයන් ද නියෝජනය කරයි.
තේරී පත් වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ExCo සාමාජිකයින් පහත පරිදි වේ.
ජ්‍යෙෂ්ඨ උප සභාපති - මේජර් (විශ‍්‍රාමික) ක‍්‍රිෂාන් ද සිල්වා, උප සභාපති - මේජර් (විශ‍්‍රාමික) ආනන්ද රුද්‍රිගු, ගරුලේකම් - ටෝනි පෙරේරා මහතා, භාණ්ඩාගාරික - කපිතාන් නාලක සිල්වා.
Video Story