ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය 26 දා මෙල්බර්න්හි දී

    February, 24, 2017

    කොළඹ වාණිජ මණ්ඩලය තම සංවිධානය දරණ ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය හා සැණකෙළිය මෙම මස 26 දා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හි ක‍්‍රවුන් හෝටල් පරිශ‍්‍රයේ දී පැවැත්වේ. ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනය අතර ශ‍්‍රී ලංකීක අනන්‍යතාවය සහිත එකම වෙළෙඳ ප‍්‍රදර්ශනය මෙය වේ. මෙම අවස්ථාව සඳහා ඕස්ටේ‍්‍රලියාවේ රටවල සියලූ ශ‍්‍රී ලංකික ප‍්‍රජාව එම වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන මෙල්බර්න් නගරය වෙත පැමිණෙන අතර ඔවුන් සැමට ශ‍්‍රී ලංකාවේ ආහාරපාන, රස විඳීමට මෙරට නිෂ්පාදනය මිලද ගැනීමට මෙහිදී හැකිවනු ඇත. කොළඹ වාණිජ මණ්ඩලයේ මෙල්බර්න් ශාඛාව මෙහිදී සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන අතර කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ දිනවල පූර්ව සංවිධාන කටයුතු සඳහා මෙල්බර්න් නුවර ගොස් සිටී. එහි සිට මාධ්‍ය වෙත අදහස් දැක්වු ආචාර්ය අමිල කංකානම්ගේ මහතා,

    “මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනය ඉතා සුවිශේෂි එකක්. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැසක් මේ සඳහා සහාභාගී වෙනවා. එය ලාංකීක ව්‍යපාරික ප‍්‍රජාවට ජාත්‍යන්තර ප‍්‍රවේශය පිළිබඳ සුභ නිමිත්තක්. මේ සඳහා ඕස්ටේ‍්‍රලියානු තනාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය දැක් වු සහාය සුවිශේෂයි.“

    මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මැතිතුමා සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත වේ.