ෂෙරින් පැවිලියන්ස් හිටපු ප්‍රධාන විධායක නිලධාරීගේ ඉල්ලීම ඉවතට

    March, 19, 2014

    වාද්දුව පිහිටි ෂෙරින් පැවිලියන්ස් නම් හෝටලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි විසින් තමාව ධූරයෙන් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් පනවන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (19) ප්‍රතික්ෂේප කර තිබේ.

    ගාමිණී නෙත්තිකුමාර සහ අනුර ලොකුහෙට්ටි මහතා විසින් ෂෙරීන් පැවිලියන්ස් නම් වූ හෝටලයේ අධ්‍යක්ෂකවරුන් ලෙස නම් කරනු ලබන තවත් පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින් ඉකුත් දෙසැම්බරයේදී අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

    කෙසේවෙතත්, ඉක්බිතිව අනුර ලොකුහෙට්ටි මහතා විසින් තමාව ධූරයෙන් ඉවත්කිරීම වළක්වන ලෙස වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

    අදාළ ඉල්ලීම අද (19) සලකා බැලූ කොළඹ, වාණිජ මහාධිකරණය එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම හෝටලයේ ප්‍රධාන විධාක නිළධාරී අනුර ලොකුහෙට්ටි යන අයට අයිතිව පැවතී ඇත්තේ හෝටලයේ ඉතා සුළු කොටස් ප්‍රමාණයක් වුවද ක්ලියිව් ලීච් නමැති හෝටලයේ මුල්හිමිකරු මෙන්ම වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සෙසු හිමිකරුවන් අතර ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් ගැටුමක් බවට පත්වීම මෙලෙස වාණිජ අධිකරණය දක්වා පැමිණ ඇත.

    හෝටලයේ හිමිකරු ක්ලියිව් ලීච් මීට පෙරාතුව අද දෙරණට කියා සිටියේ මීට වසර 20 ට පමණ ඉහතදී අනුර ලොකුහෙට්ටිගේ වෙනත් හෝටලයක සේවය කළ අයෙකු බව හා තමන් හා ඔහු අතර ඇතිවූ මිත්‍රත්වය නිසා 30%ක කොටස් ප්‍රමාණයක් ඔහුට ලබාදී මෙම ව්‍යාපාරය ආරම්භ කළ බවයි.

    කෙසේවෙතත්, පසුව ඔහු විසින් කරන ලද අක්‍රමිකතා හා අත්තනෝමතික ක්‍රියා කළාපය හේතුවෙන් මෙන්ම හෝටල් කළමණාකාරීත්වය සඳහා ඔහුගේ අභිමතය වෙනුවෙන් පුද්ගලයින් පත්කිරිම හේතුවෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගත වූ බව ලීච් මෙහිදී පෙන්වා දී තිබුණි.

    ඒ අනුව, බ්‍රිතාන්‍ය ජාතික ක්ලයිව් ලිච් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිපදෙනෙකු එක්ව ෂෙරින් පැවිලියන්ස් හෝටලයේ සිදුවූවායයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බරයේදී ගාමිණි නෙත්තිකුමාර සහ අනුර ලොකුහෙට්ටි මහතා විසින් ෂෙරීන් පැවලියන්ස් නම් වූ හෝටලයේ අධ්‍යක්ෂකවරුන් ලෙස නම් කරනු ලබන තවත් පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය පනවා තිබුණි.