සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු

    July, 4, 2019

    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවෙන් පසු දරුණු පසුබෑමකට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    මෙම වාර්තාවලට අනුව 2019 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 37,802 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 මැයි මාසයේ හා සැසඳීමේ දී 70.8% ක පහළ යාමක් ලෙසින් සටහන් වේ.

    කෙසේ වෙතත් මැයි මාසයේ දී විශාල වශයෙන් පහළ මට්ටමක පැවති විදෙස් සංචාරක පැමිණීම ජූනි මාසය වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වන ස්වභාවයක් පෙන්නුම් කර තිබේ.

    ඒ අනුව 2019 ජූනි මාසයේ දී 63,072 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය මැයි මාසය හා සැසඳීමේ දී 66.8% ක වර්ධනයකි.

    2018 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 146,828 ක් වන අතර පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේ දී සංචාරක පැමිණීමෙහි පහළ යාම 57% කි.

    මෙම දත්තවලට අනුව 2019 මුල් මාස 06 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,008,449 කි. මෙය 2018 මුල් මාස 06 හා සැසඳීමේ දී 13.4% පහළ යාමක් ලෙසින් වාර්තා වේ.