සංචාරක පැමිණීම හයලක්ෂය ඉක්මවයි

    March, 10, 2026

    2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ හයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ 2026 ජනවාරි 01 සිට මාර්තු 8 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 604,301ක් බවයි.

    එහිදී 2026 මාර්තු 01 සිට 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 47,646ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

    මාර්තු මාසයේ ගෙවී ගිය දින 8 තුළ දී පැමිණි සංචාරකයින්ගෙන් 24%ක් එනම් 11,345ක් ඉන්දියාවෙන් මෙරට පැමිණ තිබෙන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් 2026 වසරේ පලමු මාස දෙක තුළ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන ලද සංචාරක කර්මාන්තයේ යම් පසුබැස්මක් මාර්තු මාසයේ මුල් දින කිහිපය තුළ වාර්තා වේ.

    මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ ගුවන් අවකාශ වසා දැමීම හේතු කොට ගෙන ගුවන් යානා ගමනාගමනය අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිබිදෙමින් තිබූ සංචාරක කර්මාන්තයට මෙලෙස බාධා එල්ල වෙමින් පවතී.