July, 6, 2020
2020 ජූනි 24 දිනට රු. මිලියන 21,604 ක්ව පැවති රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය 2020 ජූලි 01 දින වන විට රු. මිලියන 16,471 ක් දක්වා අඩු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ.
මේ අනුව සතියක් තුළ දී රජයේ සුරැකුම්පත්වල විදෙස් අයිතිය 23.75% කින් අඩු වී ඇත.
තවද 2020 ජූලි 01 දිනට රජයේ සුරැකුම්පත් හි ඉතිරිව ඇති ප්රමාණය භාණ්ඩාගාර බිල්පත් රු. මිලියන 1,142,293 ක් සහ භාණ්ඩාගාර බැඳුම්කර රු. මිලියන 5,089,659 ක් ලෙසින් සටහන් ව ඇත.
මෙහිදී අදාළ සතියක කාලපරිච්ඡේදය තුළ දී භාණ්ඩාගාර බිල්පත් රු. මිලියන 101,050 කින් අඩු වී ඇති අතර භාණ්ඩාගාර බැඳුම්කර ප්රමාණය රු. මිලියන 60,000 කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව රජයේ කෙටිකාලීන ණයවල පහළ යාමක් සහ දිගුකාලීන ණයවල ඉහළ යාමක් අදාළ සතිය තුළ දී වාර්තා වේ.
2020 ජූනි 29 දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රු. මිලියන 60,000 ක බැඳුම්කර නිකුත් කර තිබුණි. ඒ වසර 2යි මාස 05 සහ වසර 07යි මාස 01 යන පරිණත කාණ්ඩ දෙකක් යටතේ ය.

මේ අතර අදාළ සතිය තුළ දී භාණ්ඩාගාර බිල්පත් ප්රාථමික නිකුතු පොළී අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් ද වාර්තා වේ. ඒ අනුව 2020 ජූලි 01 දින වන විට බිල්පත් පොළිය දින 91 - 5.50% සිට 5.08% දක්වා, දින 182 පොළිය 5.53% සිට 5.22% දක්වා සහ දින 364 පොළිය 5.66% සිට 5.45% දක්වා පහළ බැස තිබේ.
2020 ජූලි 01 දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 29,000 ක ලංසු පිළිගැනීමට ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සටහන පහතින් දැක්වේ.

Video Story