March, 6, 2020
රජයේ සුරැකුම්පත් හි විදෙස් හිමිකාරීත්වය 2020 මාර්තු 04 දින වන විට රු. බිලියන 83 ක් දක්වා පහත වැටී ඇත. මෙම අගය 2020 පෙබරවාරි 26 දිනය වන විට දැක්වුණේ රු. බිලියන 91.24 ක් වශයෙනි. මේ අනුව ගෙවී ගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 8.23 ක සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.
මේ අතර 2020 පෙබරවාරි 19 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රු. බිලියන 102.66 ක් වශයෙන් වාර්තා වී තිබුණි. මේ අනුව 2020 පෙබරවාරි 19 සිට 2020 මාර්තු 04 දක්වා සති 2 ක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති විදෙස් ආයෝජන වල වටිනාකම රු. බිලියන 19.66 කි.
මෙම වසර ආරම්භයේ දී එනම් 2020 ජනවාරි 01 දිනට රු. බිලියන 104.02 ක විදෙස් ආයෝජන රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබුණි.
මෙලෙස දිගින් දිගටම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදෙස් ආයෝජන ඉවත්වීම පිළිබඳව අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේය.
“කොරෝනා වෛරස් අර්බුදය පැමිණීමෙන් පසු මේ කලාපයේම රටවලින් ආයෝජන ආරක්ෂිත වත්කම් (Safe assets) වෙත විතැන් වීමක් දක්නට ලැබෙනවා. ඒක ගෝලීය ප්‍රවණතාවයක් විදියට වෙන දෙයක්. එතැන දී අපේ රටෙනුත් යම්කිසි කොටසක් ගිහිං තියෙනවා. නමුත් ඉන්දුනීසියාව වගේ රටවල එම ප්‍රමාණය ඉතා විශාලයි. මොකද ඔවුන්ගේ යොමුව (Exposure) වැඩියි. අපේ යන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 ට අඩුයි. ගිය අවුරුද්දේ වෙන කොට තිබුණු මිලියන 678 ක් වගේ ප්‍රමාණය පසුගිය කාලය තුළ දී මිලියන 100 කින් වගේ අඩු වෙලා තිබෙනවා. සන්සන්දනාත්මකව එහි ලොකු බලපෑමක් තිබෙනවා. විනිමය අනුපාතයට එතරම් ලොකු බලපෑමක් වුණේ නැහැ. ඒ මුදල් ගිහිල්ලත් දේශීය වෙළෙඳපොළ තුළින් එය මූල්‍යයනය කරන්න පුළුවන් වුණා.“
Video Story