සන්ජේ විජේමාන්න HNB නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත්වෙයි

    May, 10, 2024

    ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.

    බැංකු ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න අත්දැකීම්වලින් මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ වසර 14කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණයකු වන විජේමාන්න මහතා මෙම පත්වීම ලැබීමට පෙර HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහය ලෙස කටයුතු කරනු ලැබුවේය. ඒ තුළින් ඔහු සතු තාක්ෂණික ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහ අවබෝධය HNB හි නව්‍ය බැංකු සේවා වෙනුවෙන් ලබා දීමට ද හැකි විය.

    මෙම නවතම පත්වීම පිළිබඳව අදහස් දැක්වූ HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “සන්ජේ විජේමාන්න මහතා HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත්වීම තුළින් බැංකුකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම මෙන්ම ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලමින් පවතින ආර්ථික පරිසරය අනුව කටයුතු කිරීම සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. එසේම අපගේ උපාය මාර්ගික වැඩසටහන් ඉදිරියට ගෙන යාමට සහ ඒවාට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට ඔහුගේ ප්‍රවීණත්වය ඉතා වැදගත් වනවා.” යනුවෙනි.

    ඇමරිකා එක්සත් ජනපදයේ Mount Saint Mary’s විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මූල්‍ය පිළිබඳ උපාධිධරයෙකු වන විජේමාන්න මහතා දේශීය හා ජාත්‍යන්තර බැංකු රැසක සේවා අත්දැකීම් සහිත අයෙකි.

    මූල්‍ය විශ්ලේෂකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ විජේමාන්න මහතා HNB සමඟ සම්බන්ධ වූයේ කළමනාකරණ අභ්‍යාසලාභියකු ලෙසයි. එහිදී මූලික බැංකු කටයුතු සම්බන්ධයෙන් පරිපූර්ණ අවබෝධයක් ලබා ගත් ඒ මහතා ආයතනික බැංකු අංශය දක්වා ක්‍රම ක්‍රමයෙන් ඉහළට පැමිණීමට සමත් විය.

    ජාත්‍යන්තර බැංකු කිහිපයක ප්‍රධාන නායකත්ව තනතුරුවල කටයුතු කර ඇති විජේමාන්න මහතා ශාඛා බැංකුකරණය, භාරකාරත්වය, ජාල කළමනාකරණය, විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධනය ඇතුළු බැංකු සේවාවන් රැසක් පිළිබඳ සිය දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට සමත් විය. පසුව HSBC හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම සමඟ එක් වූ ඒ මහතා ප්‍රීමියර් බැංකුකරණ සමඟ ශාඛා ප්‍රධානී, විකුණුම් ප්‍රධානී යන තනතුරුවලද කටයුතු කර ඇත.

    ඉන් පසුව ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන තනතුරු කිහිපයක්ම හෙබවූ ඒ මහතා එහි ප්‍රිමියම් බැංකුකරණ, ශාඛා විකුණුම් සහ සේවා සාමාන්‍යාධිකාරීවරයා ලෙසත්, වත්කම් කළමනාකරණ අගය මධ්‍යස්ථාන සාමාන්‍යාධිකාරීවරයා ලෙසත් කටයුතු කර ඇත. අවසාන වශයෙන් 2011 වසරේදී එහි ආයතනික කණ්ඩායම සමඟ එක් වූ විජේමාන්න මහතා මෙරට ප්‍රධානී ලෙසද කටයුතු කරන ලද අතර එහිදී ඒ මහතා බංග්ලාදේශය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවලට වාර්තා කරන ලදී. දේශීය මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත පාරිභෝගික බැංකුකරණය සම්බන්ධයෙන් ඉමහත් පිළිගැනීමකට ලක්ව ඇති සන්ජේ විජේමාන්න මහතා ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික සේවා බැංකුව ලෙස පිළිගැනීමට ලක්ව ඇති HNB හි ද සුවිසල් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ නව තනතුර තමන්ට අභියෝගයක් පමණක් නොව බැංකුවේ නව්‍යකරණ විශිෂ්ටත්වය හා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් දායකත්වය ලබා දීමට කදිම අවස්ථාවක් වනු ඇති බවයි.

    සන්ජේ විජේමාන්න මහතා Acuity Stockbrokers (Pvt) Ltd,  Acuity Partners (Pvt) Ltd සහ HNB General Insurance Ltd යන ආයතනවල අධ්‍යක්ෂවරයකු වන අතර Lanka Pay (Pvt) Ltd හි හිටපු අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇත.

    ඡායාරූපය - HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා සහ HNB වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා