සන්ෂයින් සමූහයේ ලාභය මාස 09 කදී 23% කින් ඉහළට

    March, 2, 2018

    සුවසේවා,පාරිභෝගික නිෂ්පාදන සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්හි ශක්තිමත් කාර්යසාධනය සමගින් සන්ෂයින් සමූහය 2017/2018 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 පසුගිය වසරේ එම කාල සීමාව සමග සැසඳීමේදී පිරිවැටුම ලෙස රුපියල් බිලියන 15.6ක් වාර්තා කිරීමට සමත් වූ අතර පසුගිය වසරේ මෙම කාලසීමාව හා සසඳන කළ සන්ෂයින් සමූහයේ බදු පසු ලාභය 23‍% කින් වර්ධනය වී ඇත.

    සන්ෂයින් හෙල්ත්කෙයාර් සමූහයේ පිරිවැටුම සඳහා 39‍% ඉහළම දායකත්වයක් දැක්වූ අතර කෘෂිකාර්මික සහ පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත‍්‍රයන් පිළිවෙළින් 34‍% ක් සහ 25‍%ක් ලෙස සමූහයේ පිරිවැටුමට දායක වී ඇත.

    සලකා බලනු ලැබූ කාලසීමාවට අදාළව සමූහයේ බදුපසු ලාභය රුපියල් බිලියන 1.6ක් වූ අතර මේ සඳහා වැඩිම දායකත්වය සන්ෂයින් සමූහයේ කෘෂි අංශය විසින් ලබා දෙන ලදි. වාර්ෂික පදනම අනුව සලකා බැලීමේදී සමූහයේ බදු පසු ලාභය සහ සුළු පොලීය 63.8‍%කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 772ක් වාර්තා කර ඇත. සමූහයේ බදු පසු ලාභය සහ සුළු පොලීය සඳහා වැඩිම දායකත්වයක් දැක්වීමට වටවල වැවිලි සමාගම සහ හැටන් වැවිලි සමාගම සමත් වූ අතර එම සමාගම්වල දායකත්වය පිලිවෙළින් 38% ක් සහ 27‍% ක් විය.

    ‘‘අපගේ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය සහ අභ්‍යන්තර කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීම සඳහා අප විසින් අනුගමනය කර ඇති උපායමාර්ග මගින් ශක්තිමත් කාර්යසාධනයක් යළිත් හිමිකර ගැනීමට අපට හැකි වී තිබෙනවා. එමෙන්ම සමූහයේ සුවසේවා ක්ෂේත‍්‍රය පසුගිය මාස 9ක කාලය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති අතර මෙම ක්ෂේත‍්‍රය සමූහයේ පිරිවැටුම සඳහා ඉහළම දායකත්වය දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ඖෂධ වර්ග 48ක මිල පාලනය පවතින අතරතුර මෙම විශිෂ්ටත්වය පෙන්නුම් කරන්නට සමත් වීම අගය කළ යුතුයි. කෘෂි සහ පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත‍්‍රයන් තවදුරටත් සිය විශිෂ්ටත්වය එලෙසම පවත්වාගෙන යමින් සමූහයේ පිරිවැටුම සඳහා ඉහළම දායකත්වය දක්වා තිබෙනවා’’

    මෙම කාර්යසාධනය ලබා ගැනීම සඳහා අපගේ කාර්යශූර සේවක මණ්ඩලය විසින් ලබා දුන් දායකත්වය ඉහළින්ම ඇගයීමට ලක්වන අතර අපගේ ව්‍යාපාරික සහකරුවන් සහ පාරිභෝගිකයින් මෙම පිරිවැටුම සඳහා දායකත්වය ලබා දුන් සෙසු පාර්ෂවයන් ලෙස මගේ කෘතඥතාව පිරිනමනවා. මින් ඉදිරියටත් අපගේ මෙහෙයුම් ඒකාබද්ධ කර ගනිමින් සමූහයේ සමස්ත ලාභදායීත්වය ශක්තිමත් කර ගැනීමට උත්සාහ දරන අතරම දැනට පවතින ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් වර්ධනය කිරීමේ අවස්ථාවන්ද සොයා බලමින් සිටිනවා’’ යනුවෙන් සන්ෂයින් සමූහයේ කළමනාකර අධ්‍යක්‍ෂ විශ් ගෝවින්දසාමි මහතා පැවසීය.

    සන්ෂයින් සමූහයේ පිරිවැටුම සඳහා ඉහළම දායකත්වයක් දැක්වූ සන්ෂයින් හෙල්ත්කෙයාර් පසුගිය වසරට සාපේක්ෂව සිය පිරිවැටුම 3.3% කින් වර්ධනය කරගනිමින් රුපියල් බිලියන 6 දක්වා ගෙන ඒමට සමත් විය. සමාගමේ පිරිවැටුම වැඩිවීම කෙරෙහි ඉහළ විකුණුම් ධාරිතාව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියමය මත සිදුකළ ඖෂධ මිල පාලනයේ අයහපත් බලපෑම මධ්‍යයේ වූවද මෙම වර්ධනය හිමිකර ගැනීම සුවිශේෂී කරුණකි. ෆාමසි උප ව්‍යාපාර කාණ්ඩය සන්ෂයින් හෙල්ත්කෙයාර් පිරිවැටුමෙන් 65‍% ක කොටසක් නිරූපණය කරන අතර මෙහි වාර්ෂික වර්ධනය 4.4‍% කි. සන්ෂයින් හෙල්ත්කෙයාර් හි බදුපසු ලාභය 2018 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ 121.6‍%කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 201ක් වාර්තා කර සිටී.

    සන්ෂයින් පාරිභෝගික සන්නාමයන් අතර Zesta සහ වටවල තේ සන්නාමයන් හි පිරිවැටුමේ වාර්තාගත වර්ධනයක් ඇතිව තිබෙන අතර මෙහි වාර්ෂික වර්ධනය 27.4‍‍%ක් බවට පත් වෙමින් රුපියල් බිලියන 3.8ක් වාර්තා කර ඇත. දේශීයව අලෙවි කරන සන්නාම ගත තේ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් මිලියන 3.2 දක්වා වර්ධනය කරගැනීමටද සමත් වූ අතර පසුගිය වසර සමග සැසඳීමේදී මෙහි වර්ධනය 16‍‍%කි. ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ගෙවූ ඉහළ මිල ගණන් නිසා දළ ලාභය පසුබෑමකට ලක්වීම සහ මූල්‍ය පිරිවැය වර්ධනය, යන හේතුන් මත පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ බදුපසු ලාභය පසුගිය වසර සමග සසඳන විට 17.4‍%කින් අඩුවී පසුගිය මාස 9ක කාලසීමාව සඳහා රුපියල් මිලියන 206ක් වාර්තා කර තිබේ.

    සමූහයේ කෘෂි ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම ආයතනයන් වන වටවල වැවිලි සමාගම සහ හැටන් වැවිලි සමාගම වාර්ෂිකව සසඳන විට එම ආයතනයන්හි පිරිවැටුම 13.3‍‍%කින් වර්ධනය කර ගනිමින් රුපියල් බිලියන 5.3ක මට්ටමකට ගෙනගොස් ඇත. එමෙන්ම තේ මිල ගණන් ඉහළ යෑම මත තේ ක්ෂේත‍්‍රයේ පිරිවැටුම 21‍‍%ක් ලෙස වර්ධනය වී ඇත. 2018 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ ඔයිල් පාම් උප කාණ්ඩය සුළු පසුබෑමක් පෙන්නුම් කරන අතර වාර්ෂිකව සලකා බලන විට පිරිවැටුම 8‍%කින් අඩු වී ඇති බව පෙනීයන අතර මේ සඳහා පාම්තෙල් සඳහා පවතින වෙළෙඳපොළ මිල ගණන් අඩුවීම හේතු වී ඇත.

    සලකා බලනු ලැබූ කාලසීමාව තුළ තේ නිෂ්පාදන ධාරිතාව නොවෙනස්ව පැවති අතර පාම්තෙල් නිෂ්පාදන ධාරිතාව පසුගිය වසර වඩා 1‍% කින් වර්ධනය වී ඇත. කෘෂි ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ බදුපසු ලාභය පසුගිය වසරට වඩා 2.5‍්‍රකින් වර්ධනය වී රුපියල් බිලියන 1ක් බවට පත් ව තිබේ. පාම් තෙල් නිෂ්පාදන ක්ෂේත‍්‍රය පසුගිය මාස 9ක කාලය තුළ බදුපසු ලාභය පෙර රුපියල් මිලියන 833ක් ලැබූූ අතර එය පෙර වසරේ දැක්වුනේ රුපියල් මිලියන 1057ක් ලෙසටය. මෙම ක්ෂේත‍්‍රයේ ලාභයන් සඳහා තේ උප කාණ්ඩය පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ ලද ලාභය ඉවහල් වූ අතර පාම් තෙල් මිල ගණන් අඩු වීම සහ මෙහෙයුම් වියදම් වැඩි වීම මෙම වසරේදී ලාභදායීත්වය අඩුවීම කෙරෙහි බලපෑ ප‍්‍රමුඛ සාධකයන් විය.

     

    පශු සම්පත් උප කාණ්ඩය විසින් කිරිදෙනුන් 487 දෙනෙකුගෙන් කිරි ලීටර් 10,000ක් දෛනිකව ලබා ගනී. වටවල ඬේරීස් සමාගම සඳහා අලූතින් ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කිරීමට නියමිත කිරිදෙනුන් 500 සමග සමස්ත ආයතනය සතු කිරිදෙනුන් සංඛ්‍යාව 1073 දක්වා ඉහළ යන අතර මෙම සතුන් එළැඹෙන කාර්තුවේදී සමාගමට ලැබීමට නියමිතය. එහෙත් මෙම සතුන් සඳහා යන පිරිවැය සමූහයේ කෘෂි ක්ෂේත‍්‍රයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව විශ් ගෝවින්දසාමි මහතා පවසයි.

     

    සේයාරූ සටහන - සන්ෂයින් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ විශ් ගෝවින්දසාමි