March, 1, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 89,006,863 ක්, හිමිකම් කොටස් නිකුතුවක් හරහා නිකුත් කිරීමට ඊයේ (28) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව දැනුම් දී සිටී.
මෙහිදී දැනට පවතින ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 23 කට, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 07 ක් හිමිවන පරිදි මෙම හිමිකම් කොටස් නිකුතුව සිදුකිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී එක් කොටසක් නිකුත් කිරීමට තීරණය කර ඇත්තේ රු. 136.00 ක් බැගිනි.
ඒ අනුව රු. 12,104,933,368.00 ක මුදලක් මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම හිමිකම් කොටස් නිකුතුව නිවේදනය කිරීමත් සමඟම අද (01) දින සම්පත් බැංකුවේ කොටස් මිල දැවැන්ත කඩා වැටීමකට ලක්විය. අද මධ්‍යහ්නය වන විට සම්පත් බැංකුවේ කොටසක මිල රු. 197.90 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා රු. 34.00 ක හෙවත් 14.66% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.
මෙය කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යාම කෙරෙහිද විශාල වශයෙන් බලපෑ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.97 කින් ද, S&P SL20 දර්ශකය ඒකක 91 කින් ද දිනයේ පළමු භාගය තුළ දී පහළ යන ලදී.

Video Story