සම්පත් බැංකුව, ප්‍රථම වරට උතුරු පළාතට ‘වැවට ජීවයක් ’ ගෙන යමින් තවත් වාරි ව්‍යාපෘති දෙකක් තුළින් ගොවි ජනතාව සවිමත් කිරීමට කැප වෙයි

    October, 11, 2023

    කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් ඉදිකළ වාරි කර්මාන්තයන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින තත්වයක් තුළ වගාවන්ට අවශ්‍ය ජලය නිසි පරිදි ලබා ගැනීම බලවත් ගැටළුවක් බවට පත්ව ඇත.

    ඒ බව මනාව හඳුනාගනිමින් රට පුරා ගොවි ජනතාවට ආර්ථික වශයෙන් සවිමත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව ඒ සඳහා කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරනුයේ ‘වැවට ජීවයක් ’ සමාජ සත්කාරය තුළින් කෙත් බිම් සරු කිරීමට අවැසි දියවර නොඅඩුව සපයා ගැනීම වෙනුවෙන් අභාවයට යමින් පවතින වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමිනි. එහි සුවිශේෂී පියවරක් ලෙස උතුරු පළාතේ වවුනියාව ඒච්චන්කුලම්හි කිඩාචුරි වැව ප්‍රතිසංස්කරණය සඳහන් කළ කළ හැක්කේ ‘වැවට ජීවයක් ’ වැඩසටහන යටතේ ජීවය ලබන උතුරු පළාතේ ප්‍රථම වාරි කර්මාන්තය වන බැවිනි. උතුරේද දකුණේද සියලු ගොවි දරුවන් මුහුණ දෙන ප්‍රමුඛ දුෂ්කරතාවයක් වන ජල ප්‍රශ්නය විසඳාලමින් ඔවුන්ගේ මෙන්ම රටේ ආර්ථිකයද ශක්තිමත් කිරීමට අරමුණු කොට ගෙන ඇති සම්පත් බැංකුව වවුනියාවේ කණ්ණගි ගොවි සංවිධානයේ ඉල්ලීම මත කිඩාචුරි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ හා බුරුතගොල්ල, ඔක්කම්පිටිය දඹේයාය පුබුදු ගොවි සංවිධානයේ ඉල්ලීම මත දඹේයාය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භාරගත්තේ ඒ අනුවයි.

    සම්පත් බැංකුවේ ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන‘වැවට ජීවයක් ’ වැඩසටහන යටතේ ජීවය ලබන 20 වන වාරි ව්‍යාපෘතිය ලෙස වවුනියාවේ කිඩාචුරි වැව ඉතිහාසයට එක් වන්නේ උතුරු පළාත තුළ ‘වැවට ජීවයක් ’ වැඩසටහනින් පෝෂණය වන ප්‍රථම වාරි ව්‍යාපෘතිය බවටද පත් වෙමිනි. උතුරු පළාතේ ගොවි පවුල් 290ක් පමණ ඍජුව ප්‍රතිලාභ ලබන අක්කර 185ක් පුරා විහිදෙන ගොවි බිම් පෝෂණය කරන කිඩාචුරි  වැව වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණයට ලක් නොවීම හේතුවෙන් අබලන්ව පවතින්නේ ගොවි ජනතාවට තමන්ගේ ගොවි තැන් කටයුතු පවා නිසි පරිදි සිදු කර ගැනීමේ අවස්ථාවද ඔවුන්ගෙන් ඈත් කරමිනි. වැවෙහි ප්‍රධාන සොරොව් දෙක අබලන් වීම නිසා ජල කාන්දුව හා වැවෙහි පෝෂක ඇල මාර්ගය අබලන් වීම පමණක් නොව තවත් ප්‍රතිසංස්කරණයන් රැසක් අවශ්‍යව පවතින කිඩාචුරි වැව පරිපූර්ණ වාරි පද්ධතියක් බවට පත් කිරීමේ වගකීම සම්පත් බැංකුව භාර ගත්තේ වවුනියාවේ ඒචිචන්කුලම් ගොවි ජනතාවට බලාපොරොත්තුවේ දෑත් දිගු කරමිනි. ඒ අනුව වැවෙහි ප්‍රධාන සොරොව් දෙක සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ජල කාන්දුව නිසි පරිදි සකස් කොට පෝෂක ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටත් වැවෙහි අනෙකුත් සියලු අවශ්‍යතා පරිපූර්ණව ප්‍රතිසංස්කරණය කිරීමටත් සම්පත් බැංකුව පසුගියදා කටයුතු ආරම්භ කරන ලදී. එම සංවර්ධන කටයුතු වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තාක්ෂණික දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී විශේෂ ව්‍යාපෘති හා සම්මේලන දුල්සිරි ජයසිංහ මෙනවිය, ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර රවින්ද්‍ර ගුණවර්ධන මහතා ඇතුළු සම්පත් බැංකු නිලධාරීන්, වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් බී. තේවරදන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කණ්ණගි ගොවි සංවිධානයේ නිලධාරීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

    ගොවි පවුල් 80කට වැඩි ප්‍රමාණයකට ජීවිකාව සපයන අක්කර 110ක් පුරා විහිදුණු සුවිසල් කෙත් යායක් අස්වද්දන්නට තරම් සවියක් පැවති ඔක්කම්පිටිය දඹේයාය වැව අද වන විට අභාවයට යමින් පවතින්නේ ගොවි ජනතාවට වසරකට එක් කන්නයක් පමණක් වගා කිරීමට අවස්ථාව උදා කරමිනි. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ කුසගිනි නිවාලන මෙවන් කෙත් යායක් වසරකට එක් කන්නයක් පමණක් අස්වද්දන්නට සිදුව ඇත්තේ වැව ප්‍රතිසංස්කරණය නොවීම හේතුවෙන් බව වටහා ගත් සම්පත් බැංකුව දඹේයාය පුබුදු ගොවි සංවිධානයේ ඉල්ලීම මත එම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භාර ගත්තේ දඹේයාය ගොවි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමිනි. ඒ අනුව දඹේයාය වැවෙහි අබලන්ව පවතින සොරොව්ව අලුත් වැඩියා කිරීම මෙන්ම වැව් බැම්ම පිළිසකර කරමින් සම්පත් බැංකුව ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන ලදී. එපමණක් නොව කෙත්බිම් වෙත දියවර ගෙනයන ඇල මාර්ගය සකස් කිරීම, පිටවාන හා ප්‍රධාන ඇල මාර්ගයට පිටවාන් ජලයෙන් වන හානිය වළක්වා ගැනීම සඳහා මීටර් 300ක පමණ පැති බැමි ඉදි කිරීමටත්, වැවට පිවිසෙන මාර්ගය බෝක්කු යොදා නිසි පරිදි සකස් කිරීමටත් සම්පත් බැංකුව බලාපොරොත්තු වේ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආගමික වතාවත් මධ්‍යයේ ආරම්භ කෙරුණේ සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ සහ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර චතුර ලියනගේ යන මහත්මයින්ගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සඳහා මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එන්.කේ. චන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන්, දඹේයාය පුබුදු ගොවි සංවිධානයේ නිලධාරීන් හා සාමාජික සාමාජිකාවන්, ප්‍රදේශවාසීන් රැසක්ද එක්ව සිටියහ. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ තාක්ෂණික දායකත්වය සපයනු ලබන්නේද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවයි.

    මේ අවස්ථාවන් සඳහා එක්වෙමින් සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා පවසා සිටියේ “ පසුගියදා අපි සම්පත් බැංකුවේ වැවට ජීවයක් වැඩසටන යටතේ ප්‍රතිසංස්කරණය කරන 20 වැනි වාරි ව්‍යාපෘතිය අපි උතුරු පළාතේ වවුනියාව ඒචිචන්කුලම් ගම්මානයේදී ආරම්භ කළා. අද දඹේයාය වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනුනේ එහි 21 වැනි පියවර ලෙසයි. ‘වැවට ජීවයක් ’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම සියලු ව්‍යාපෘති තුළින් ගොවි ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට අපි අදහස් කරනවා. ඒ තුළින් ගම තුළ ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කළ හැකි යැයි අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. සමෘද්ධිමත් ගමක් තුළින් අපට සමෘද්ධිමත් රටක් නිර්මාණය කළ හැකියි. ඒ වගේම වැව් හා බැඳුණු පුළුල් පරිසර පද්ධතියදඅ පගේ මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් නැවත සක්‍රිය කිරීමට අපට හැකි වනවා. ඒ නිසාම වසර 20කට වැඩි කාලයක් තිස්සේ සම්පත් බැංකුව විසින් සිදු කරන මෙම ‘වැවට ජීවයක් ’ වැඩසටහන තුළින් ඉදිරියේදීත් තවත් වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය  කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

     

     සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා විසින් හින්දු ආගමික වතාවත් මධ්‍යයේ වවුනියාව ඒච්චන්කුලම්, කිඩාචුරි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින්

     

    ඡායාරූප විස්තරය - සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ, ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර චතුර ලියනගේ, මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එන්.කේ. චන්ද්‍රවංශ යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ගොවි සංවිධාන නියෝජිතයින් විසින් දඹේයාය වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අයුරු.