• Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanaka

සම්පත් බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන පදනම හා දූරදර්ශී අවදානම් කළමනාකරණය තුලින් අභියෝගාත්මක ආර්ථික පරිසරය සාර්ථකව ජය ගනී

June, 7, 2022

පවතින පීඩාකාරී ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රාග්ධන ස්වාරක්ෂකයන් තිබීමත්, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් සහ විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් තිබීමත් තුලින් ඍණාත්මක ආර්ථික පසුබිමක් තුල වුවද සිය සම්බන්ධිත පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛතාව දීමට සම්පත් බැංකුවට හැකි විය.

තියුණු අභියෝගකාරී ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ වුවද 2022 මාර්තු 31න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 6.5 ක් හා බදු පසු ලාභය රුපියල් බිලියන 4.7ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ණය අත්තිකාරම් සහ ආයෝජන සඳහා ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් වෙන් කිරීමෙන් ද පසුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පිළිවෙලින් 5.3%ක හා 2.9%ක වර්ධනයකි.

සම්පත් බැංකුව හා සමූහය විසින් 2022 පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල

■      සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමගම ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් විය.

■      ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 47%කින් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ආදායම 248%කින් වර්ධනය විය.

■      කාඩ්පත් හා වෙළෙඳ ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගත් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමේ 74.6% ක සැලකිය යුතු වර්ධනයක් කාර්තුව තුල දී ළඟා කරගත හැකි විය.

■      ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් අවම කර ගැනීමට ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.

■      සමූහයේ බදු පසු ලාභය 4.9%ක ආන්තික පහල බැසීමක් වාර්තා කළ අතර බදු පෙර ලාභය 1.6%ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. සමූහයේ බදු පෙර ලාභය හා බදු පසු ලාභය 2022 පළමු කාර්තුව සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 6.8ක් හා රුපියල් බිලියන 4.9 ක් විය.

අරමුදල් මත පදනම් වූ ආදායම 

සම්පත් බැංකුව 2022 පළමු කාර්තුව සඳහා  රුපියල් බිලියන 24.9 ක පොලී ආදායමක් උපයාගත් අතර මෙය සංසන්දනාත්මක කාලච්ජේදයේ රුපියල් බිලියන 20.7 හා සැසඳීමේදී 20%ක වර්ධනයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් ණය අත්තිකාරම් හා ආයෝජනයන්හි පොලී අනුපාතිකයන් ඉහළ යාම හේතු විය. සාමාන්‍යය බර තැබූ ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 2021 මාර්තු 31 දිනට පැවති 5.75% ට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව අවසානය වන විට 9.71% දක්වා පදනම් ලකුණු 396 කින් ඉහළ ගොස් ඇත. තවද වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලී අනුපාතය සංසන්දනාත්මක කාලච්ජේදයේ වාර්තා කල 5.11% සිට පදනම් ලකුණු 717 කින් ඉහළ යන ලදී.

මෑත කාලීනව සිදු වූ පොලී අනුපාත ඉහල යාම් මධ්‍යයේ වුවද තැන්පතු කලඹෙහි ජංගම හා ඉතුරුම් ගිණුම් සංයුතිය තුල ඇති වූ ඉහල වර්ධනය හේතුවෙන් පොලී වියදමේ පහල යාමක් වාර්තා කිරීමට සම්පත් බැංකුවට හැකි විය. ඒ අනුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පොලී වියදමෙහි 1.6%ක ආන්තික පහල යාමක් 2022 පළමු කාර්තුවේදී වාර්තා කරන ලදී. 2022 පළමු මාස තුන සඳහා  බැංකුවේ පොලී වියදම රුපියල් බිලියන 11.3 ක් වූ අතර සංසන්දනාත්මක කාලච්ඡේදය සඳහා එය රුපියල් බිලියන 11.5 ක් විය. ඉහත කරුණු හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 2022 පළමු කාර්තුවේ 47%කින් ඉහළ ගිය අතර ශුද්ධ පොලී ආන්තිකය 4.54%ක් ලෙස වාර්තා විය. එය 2021 වසර අවසානයට වාර්තා කළ අගයට සාපේක්ෂව පදනම් ලකුණු 93ක වර්ධනයකි.

අරමුදල් මත පදනම් නොවූ ආදායම 

සම්පත් බැංකුවේ 2022 පළමු කාර්තුවේදී ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (NFCI) පෙර වසරේ සංසන්දනාත්මක  කාලපරිච්ඡේදයේ වාර්තා කළ අගයට සාපේක්ෂව ඉතා ඉහල වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ප්‍රධාන වශයෙන් ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳ හා විද්‍යුත් නාලිකා යන අංශවලින් උපයා ගන්නා ලදී. මෙම සැළකිය යුතු වර්ධනයට කාඩ්පත් ආශ්‍රිත මෙහෙයුම් පරිමාව ඉහළ යාමත්, වෙළෙඳ ආශ්‍රිත මෙහෙයුම්වලින් උපයාගත් කොමිස් ආදායම ඉහළ යාමත් ප්‍රධාන හේතූන් විය.

ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායමද පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 223%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙය ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 47%කින් තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් ජනනය වූ ඉහළ විනිමය ආදායමේ ප්‍රතිඵලයකි. 2022 පළමු මාස තුන සඳහා බැංකුව රුපියල් බිලියන 8.7 ක ශුද්ධ  අනෙකූත් මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලද අතර ඵයට සාපේක්ෂව 2021 පළමු කාර්තුව සඳහා ආදායම රුපියල් බිලියන 2.7 ක් විය. මීට අමතරව පෙර මූල්‍ය වර්ෂයේ සංසන්දනාත්මක කාලපරිච්ඡේදය තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 398 හා සැසඳීමේදී මෙම වසරේ සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව රුපියල් මිලියන 381 ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කර ඇත. මෙම පදනම මත වර්තමාන කාලපරිච්ඡේදය සඳහා විදේශ විනිමය ගනුදෙනුවලින් බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 8 ක් විය.

අපහායන අයකිරීම් 

අපහායන අයකිරීම් 897%ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය වසරේ පළමු කාර්තුවේදී අය කළ රුපියල් බිලියන 1.2 ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 11.8ක් විය. මෙම අපහායන අයකිරීම් තුළ රුපියල් බිලියන 4.9 ක් ණය හා අත්තිකාරම් සඳහාද රුපියල් බිලියන 6.7 ක් අනෙකුත් මූල්‍ය උපකරණ සඳහාද වෙන් කරන ලද අතර තවත් රුපියල් මිලියන 209 ක් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව වෙන් කර ඇත.

ණය අත්තිකාරම් මත අපහායන අය කිරීම්

නැගී එන ගෝලීය හා දේශීය ආර්ථික අභියෝග හමුවේ ඇතිවන බලපෑම් ආවරණය කර ගැනීම සඳහා බැංකුව විසින් ණය හා අත්තිකාරම් සඳහා වන අපහායන අය කිරීම් ඉහළ දමන ලදී. 2021 වසරේදී භාවිත කරන ලද අපහායන  ආකෘති සමඟ අඛණ්ඩව අනුගත වෙමින් බැංකූව විස‘න් පවත‘න ආර්ථික තත්වයන් ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ගැලපුම් සිදු කරන ලදී. ප්‍රමාණවත් ණය අලාභ ප්‍රතිපාදන තීරණය කිරීම සඳහා ප්‍රධාන දේශීය හා ගෝලීය ආර්ථික තත්වයන් සලකා බැලීමට මෙම අපහායන ආකෘතීන් තුළ සම්භාවිතාමය බරතැබීම් භාවිතා කරනු ලැබේ. මේ අනුව මෑත කාලීනව ආර්ථිකයේ ඇති වූ ඉහළ අස්ථාවරභාවය සැලකිල්ලට ගනිමින් අහිතකර ආර්ථික තත්වයන් සඳහා ඉහළ බර තැබීමක් සිදු කරමින් හා නවතම ආර්ථික දත්ත භාවිත කරමින් 2022 පළමු කාර්තුවේ අපහායන අය කිරීම් ගණනය කිරීම සිදු කරන ලදි. ඉහත සඳහන් කරන ලද කරුණු හේතුවෙන් 2022 පළමු කාර්තුවේ අපහායන අයකිරීම් සාපේක්ෂව ඉහළ අගයක් පෙන්නුම් කරයි. පසුගිය වසරේ සංසන්දනාත්මක කාර්තුවේ අපහායන අයකිරීම් අගය සාපේක්ෂව පහළ අගයක් ගන්නා අතර මෙයට හේතු වන්නේ අදාල කාල සීමාව තුළ පැවති ව්‍යාපාරික විශ්වාසය හා ධනාත්මක ආර්ථික දැක්මයි.

තවද දැනට පවතින ආර්ථික තත්වයන් යටතේ ගණුදෙනුකරුවන්ගේ ණය අවදානම් නැවත වරක් තක්සේරු කරන ලද අතර ඊට අනුකූලව අපහායන ප්‍රතිපාදනයන් තව දුරටත් ඉහළ දමන ලදී. මෙයට අමතරව ඉහල අවදානම් සහිත කර්මාන්තවල නියැලෙන ගණුදෙනුකරුවන් ඇතුළුව වර්තමාන ආර්ථික අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට ඇති හැකියාව පදනම් කරගෙන බැංකුව විසින් ගණුදෙනුකරුවන් අදියර 1 සිට අදියර 2 වෙත මාරු කරන ලදී. මෙයට අමතරව 2021 දෙසැම්බර් මාසයේදී අවසන් වන ලද කොවිඩ් 19 සහනදායී ණය යෝජනා ක්‍රමයේ 4 වන අදියර යටතේ සිටි ගණුදෙනුකරුවන් වෙනුවෙන් කළමනාකරණ ආවරණයන් ලෙස හඳුනාගන්නා ලද අපහායන වෙන් කිරීම්  තව දුරටත්  පවත්වාගෙන යන ලදී.

ඉහත සඳහන් කරන ලද කරුණු හේතුවෙන්  2022 පළමු කාර්තුවේදී 2021 පළමු කාර්තුවට සාපේක්ෂව ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 404%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර එය පිළිවෙලින් 2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.9ක් හා 2021 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 1ක් විය.

අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අයකිරීම් 

2022 පළමු කාර්තුව සඳහා විදේශ ව්‍යවහාර මුදලින් අගය කරනු ලබන රජයේ සුරැකුම්පත්  සඳහා අපහායන වෙන් කිරීම් වශයෙන් රුපියල් බිලියන 6.3 ක් හඳුනා ගන්නා ලදී. මේ සඳහා ප්‍රධාන වශයෙන් 2022 අප්‍රේල් මස තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇත‘ව ආර්ථික ගැලපුම් වැඩසටහනක්  හරහා රටේ විදේශ ණය සම්මුතිමය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳව සළකා බලන බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනය කිරීම යන කරුණු ද්විත්වය හේතු විය.

මෙහෙයුම් වියදම් 

2022 පළමු කාර්තුව සඳහා මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 6.5 ක් වූ අතර එය 2021 පළමු කාර්තුව සඳහා වූ රුපියල් බිලියන 5.5ට සාපේක්ෂව 17.5%ක වර්ධනයකින් යුක්තවේ. අදාල කාල සීමාවේදී පැවති ඉහළ උද්ධමනය මේ සඳහා මූලික විය. තවද බැංකූවේ මුළු මෙහෙයුම් ආදායම 86.3% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙහ‘ ප්‍රථිඵලයක් ලෙස බැංකූවේ ආදායම් පිරිවැය අනුපාතය කැපී පෙනෙන ලෙස පහත වැටෙන ලදි. එය 2021 පළමු කාර්තුවේ 38.9% හා සසඳන විට 2022 පළමු කාර්තුව සඳහා 24.5% ක් විය. කෙසේ වෙතත් විනිමය ආදායමෙහි ඇති වූ වර්ධනය සැලකීමට නොගත්තේ නම් 2022 පළමු කාර්තුව සඳහා ආදායම් පිරිවැය අනුපාතය 31.3%ක් වේ.

ප්‍රධාන අනුපාතයන් 

සාමාන්‍ය ස්කන්ධය මත වූ ප්‍රතිලාභ අනුපාතය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා වූ 11.05%ට සාපේක්ෂව 2022 මාර්තු 31 දින වන විට 15.95%ක් දක්වා ඉහළ ගියේය. සාමාන්‍ය වත්කම් මත ඉපයුම් අනුපාතය (බදු පෙර) 2021 වාර්තා වූ 1.44%ට සාපේක්ෂව 2022 මාර්තු 31 වන දින විට 2.13%ක් විය.

ප්‍රාග්ධන අනුපාතයන්

සම්පත් බැංකුව 2022 පළමු වන කාර්තුව තුල සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියමිත නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලදී. බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙල ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 2021 වර්ෂයේ අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02%ට සාපේක්ෂව 2022 මාර්තු 31 වන දිනය වන විට පිළිවෙලින් 11.44%, 11.44% හා 14.20% විය. අදාල කාලපරිච්ඡේදය තුළ මුළු ප්‍රාග්ධන අනුපාත වෙනස්වීම කෙරෙහි අවදානම මත බර තබන ලද වත්කම්වල වැඩිවීම හා රුපියල් මිලියන 4,864ක වටිනාකමින් යුක්ත මුදල් ලාභාංශ ගෙවීම සඳහා රඳවා ගත් ඉපයීම් බෙදා හැරීම හේතු විය.

ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ස්වාරක්ෂක සහිතව සිය ප්‍රාග්ධන අනුපාතයන් විචක්ෂණ මට්ටමින් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මනා ස්ථාවරත්වයක් සම්පත් බැංකුව සතු වේ.

වත්කම් හා වගකීම්

2021 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි්‍රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 93.5ක වර්ධනයක් (වාර්ෂික වර්ධනය 31.6%) සහිතව 2022 මාර්තු 31 වන විට රුපියල් ටි්‍රලියන 1.29 දක්වා ළඟා වීමට සමත් විය.

මුළු අත්තිකාරම් ප්‍රමාණය 2021 දෙසැම්බර් මස අවසානයට වාර්තා වූ රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 34.6%ක (වාර්ෂික) වර්ධනයක් සහිතව රුපියල් බිලියන 883ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රදානය කරන ලද ණය කලඹේ වර්ධනය (වාර්ෂික) 15.5% කි.

කෙසේ වුවද, විදේශ ව්‍යවහාර මුදලින් දෙන ලද ණයවල දේශීය මුදලට පරිවර්තනය කරන ලද අගය, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මාර්තු මස තුල අවප්‍රමාණය වීම හේතුවෙන් කැපී පෙනෙන ලෙස වර්ධනය විය. විනිමය අනුපාත වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු ණය හා අත්තිකාරම්වල වර්ධනය (වාර්ෂික) 12.3%ක් වේ.

බැංකුවේ මුළු තැන්පතු කළඹ 2021 දෙසැම්බර් 31 දිනට  වාර්තා වූ  රුපියල් බිලියන 978ට සාපේක්ෂව 2022 මාර්තු 31 දින වන විට 32%ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 78 කින් වර්ධනය විය. කෙසේ වුවද කාල සීමාව තුළදී දේශීය මුදල් තැන්පතු කළඹෙහි වර්ධනය (වාර්ෂික) 6.9%ක් පමණී . මුළු ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය 2021 අවසානයේ පැවති 45.7%ට සාපේක්ෂව 2022 පළමු කාර්තුව අවසානයේ 45.8% ක් ලෙස වාර්තා විය.

අධිභාර බදු

2022 අප්‍රේල් 08 වන දින සහතික කරන ලද 2022 අංක 14 දරණ අධිභාර බදු පනතට අනුකූලව 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 10,682 මත පදනම්ව රුපියල් මිලියන 2,671ක් වූ අධිභාර බදු වගකීමකට බැංකුව යටත් වේ. තවද සම්පත් සමූහය සඳහා අධිභාර බදු වගකීම රුපියල් මිලියන 3,233 කි. එකී පනතට අනුකූලව 2020 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයේ එම බදු මුදල වියදමක් ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මඟින් නිකුත් කළ අධිභාර ගිණුම්කරණය පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශයේ  (SOAT) නියමයන්ට අනුකූලව 2022 දෙවන කාර්තුවෙහි අන්තර්කාලීන මූල්‍ය ප්‍රකාශනයන්හි, 2021 ජනවාරි 01 දිනට ආරම්භක රඳවාගත් ඉපයීම් ශේෂයට ඵරෙහිව අධිභාර බද්ද ගලපනු ලැබේ.

ලාභාංශ

2022 මාර්තු 30 වැනි දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී බැංකුවේ කොටස් හිමියන් විසින් 2021 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 4.25ක පළමු හා අවසාන මුදල් ලාභාංශයක් අනුමත කරන ලදී. බැංකුව විසින් 2022 මාර්තු 31 දිනට එහි මූල්‍ය ප්‍රකාශනවල අනුමත වූ අවසන් ලාභාංශ සඳහා රුපියල් මිලියන 4,864ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලද අතර එම ලාභාංශ මුදල් 2022 අප්‍රේල් මාසයේදී ගෙවන ලදී.

ඡායාරූප - සම්පත් බැංකු පීඑල්සී හි සභාපති හර්ෂ අමරසේකර මහතා (වම), සම්පත් බැංකු පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා (දකුණ)