සම්පත්, වරාය අධිකාරිය සමග එක්ව වරාය කටයුතු සම්බන්ධ ගෙවීම් පියවීම් කඩිනම් කරයි

    June, 6, 2014

    සම්පත් බැංකුව ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය කටයුතු ආශ‍්‍රිත ගනුදෙනු වලට අදාළ ගෙවීම් පියවීම් කඩිනම් කිරීම උදෙසා අවශ්‍ය සියළු පහසුකම් නවීනතම බැංකු තාක්ෂණයන් ඔස්සේ සපයයි.

    ශ‍්‍රි ලංකාවේ තෙවන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන සම්පත් බැංකුව ශ‍්‍රිී ලංකා වරාය අධිකාරය සමඟ එක්ව හඳුන්වා දෙන මෙම කඩිනම් ගෙවීම් පියවීම් පද්ධතිය මගින් අපනයන කරුවන්ට සහ ආනයන කරුවන්ට තම ව්‍යාපාර කටයුතු ඉතා ඉක්මනින් සහ බාධාවලින් තොරව සිදුකර ගත හැකිය. වරාය කටයුතු සම්බන්ධ ගෙවීම් පියවීම් පහසුකම් සිදුකිරීමට ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම වතාවට පෞද්ගලික බැංකුවක් යොදාගත් අවස්ථාව මෙයයි. වරාය කටයුතු සම්බන්ධ ගෙවීම් පියවීම් ඉතා සරල සහ විනිවිද භාවයකින් යුතු ලියකියවිලි ක‍්‍රමවේදයක් හරහා සිදුකළ හැකි බව මේ පිළිබඳ අදහස් දක්වමින් ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ නිළධාරියෙක් පැවසීය.

    වරාය කටයුතු සහ සම්බන්ධ වන පාර්ශවයන්ට සම්පත් විශ්ව අන්තර්ජාල බැංකු සේවාව භාවිතයෙන් හෝ ළඟම ඇති සම්පත් බැංකු ශාඛා ඔස්සේ ගනුදෙනු පියවීම මගින් ඉතාම අඩු කාල සීමාවක් තුළ නැව් බඩු නිදහස් කරගත හැකිය. ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය නිකුත් කරන ඉන්වොයිස් අංකය ඉදිරිපත් කිරීමෙන් අදාළ ගනුදෙනුව සිදුකළ හැකිය.

    ගනුදෙනුව සිදුවීමෙන් අනතුරුව ඉන්වොයිස් අංකය එම අවස්ථාවේම ශ‍්‍රි ලංකා වරාය අධිකාරය වෙත අන්තර්ජාලය ඔස්සේ යැවෙන අතර ගනුදෙනුවට අදාළ සියළු තොරතුරු ඝෘජුවම ශ‍්‍රි ලංකා වරාය අධිකාරයේ පද්ධතියට යවනු ලැබේ. එසේම ගනුදෙනුවට අදාළ පණිවිඩයක් ගනුදෙනුකරුට යවනු ලබයි. එයින් පසුව ගනුදෙනුකරුට ඉතාම පහසුවෙන් භාණ්ඩ නිදහස් කරගත හැකිය.

    ගනුදෙනුකාර භවතුන්ට අන්තර්ජාල ගෙවීම් පියවීම් පද්ධතියට ඇතුළු වී ඔවුන්ගේ අයි පෑඞ් , ජංගම දුරකථන හෝ පරිගණක භාවිතයෙන් ගනුදෙනු පියවිය හැකිය. එසේ නොමැතිනම් ළඟම ඇති සම්පත් බැංකු ශාඛාව හෝ වසරේ දින 365 පුරාම උදෑසන 8.00 සිට රාත‍්‍රි 8.00 දක්වා විවෘතව ඇති සම්පත් සුපිරි ශාඛා ඔස්සේ පහසුවෙන් සිදුකරගත හැකිය.