සමාගම් 05කට කොටස් වෙළෙඳපොළ තහනම් වෙයි

    December, 10, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 05 ක කොටස් ගනුදෙනු අද (10) දින සිට අත්හිටුවා තිබේ.

    2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා අදාළ වාර්ෂික වාර්තා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට මෙම සමාගම් මේ වනතුරුත් අපොහොසත් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය නොවැම්බර් 29 දින කියා සිටියේ, 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම් 08 ක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බවත්, ඒවා 2018 දෙසැම්බර් 07 දිනට ප්‍රථමව ඉදිරිපත් නොකළහොත් දෙසැම්බර් 10 වන දින සිට එම සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවනු ලබන බවත්ය.

    එහිදී නම් සඳහන් වූ අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී, බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හා ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී යන සමාගම් දෙසැම්බර් 07 දිනට පළමුව වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමේ තීරණය එම සමාගම්වලට බලනොපැවෙත්වෙනු ඇත.

    ඒ අනුව,

    1. ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී
    2. සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩ්ස් පීඑල්සී
    3. ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී
    4. ඇඩම් කැපිටල් පීඑල්සී
    5. රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී

    යන සමාගම්වල කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (10) සිට බලපැවැත්වෙන පරිදි තහනම් වනු ඇත.