සමාගම් 6 ක් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවතට

    March, 18, 2019

    1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වන වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, 2001 වර්ෂයේ දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති රීතීන් හි අංක 4 (2) දරන රීතියට අනුකූලව සමාගම් 6 ක්, කොළඹ කොටස් හුවමාරුවේ නිල ලැයිස්තුගත ලේඛනයෙන් ඉවත් කිරීමට, කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

    මේ අනුව වනික් ඉන්කෝපරේෂන් පීඑල්සී, පැලවත්ත සුගර් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී, ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, ඔරියන්ට් ගාර්මන්ට්ස් පීඑල්සී, මිරාමා බීච් හොටේල් පීඑල්සී හා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇත.

    2008 ඔක්තෝබර් 06 වන දින සිට වනික් ඉන්කෝපරේෂන් පීඑල්සී සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා තිබෙන අතර පැලවත්ත සුගර් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී හි කොටස් ගනුදෙනු 2011 නොවැම්බර් 11 වන දින සිට අත්හිටුවා තිබේ. පැලවත්ත සුගර් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගම, 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය පනත යටතේ සමාගමේ වත්කම් රජයට පවරා ගැනුණි.

    මේ අතර ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනු 2014 ජූනි 05 වන දින සිට සහ ඔරියන්ට් ගාර්මන්ට්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනු 2016 අප්‍රේල් 06 වන දින සිට අත් හිටුවා තිබේ.

    ඉහත කී සමාගම් 4 ම මේ වන විට ඈවර කිරීමට කටයුතු ආරම්භ කර ඇත.

    අදාළ මූල්‍ය ප්‍රකාශන නිසි කලට නිසියාකාරයෙන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මිරාමා බීච් හොටේල් පීඑල්සී හි කොටස් ගනුදෙනු 2015 පෙබරවාරි 26 දින සිට අත්හිටුවා තිබේ.

    එසේම මූල්‍ය වාර්තා භාර නොදීම හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කර තිබූ අවසර පත්‍රය අවලංගු කිරීම හේතුවෙන් 2017 නොවැම්බර් 23 දින සිට සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටවනු ලැබීය.

    මෙම සමාගම්, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කරනු ලබන බවට දැන්වීමක් 2019 මාර්තු 13 දින පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කළ අතර, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද මෙම තීරණය හේතුවෙන් පීඩාවට පත්වන අයෙකුට, මෙකී දැන්වීම පළ වී දින 14 ක් ඇතුළත, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිවේ.

    මෙහිදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිම කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටින්නේ මෙකී දින 14 ක කාල සීමාව අවසානයේ දී පෙර කී අයුරින් අභියාචනයන් ඉදිරිපත් කර නොමැති නම්, මෙම සමාගස්වල සුරැකුම්පත්, නිල ලැයිස්තුගත ලේඛනයෙන් ඉවත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව විසින් ක්‍රියා කරනු ඇති බවයි.