සමාජය පොහාසත් නම්, අපට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන් – ධම්මික පෙරේරා

    August, 30, 2018

    ශ්‍රී ලංකා සමාජය පොහොසතුන් වන්නේ නම්, තමන් වැනි ව්‍යාපාරිකයින්ට සුපිරි පොහොසතුන් විය හැකි බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ (29) සන්ධ්‍යාවේදී කොළඹ හිල්ටන් හෝටලයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා,

    “2013 ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 3,610. අද වන විට එය ඩොලර් 4,065 යි. පසුගිය වසර 5 පුරාවට ඩොලර් 100 ක 150 ක වර්ධනයකට අපි විශාල අරගලයක් කරනවා. මොකද, ආර්ථිකය 2013 සිට මේ දක්වා තිබෙන්නේ එකම ප්‍රමාණයක. ඒ නිසා අපිත් අරගලයක යෙදෙනවා.“

    “සමාජය පොහොසත් වෙනවා නම්, අපිට තවතවත් පොහොසත් වෙන්න පුළුවන්. සමාජය පොහොසත් නොවී අපිට සුපිරි පොහොසතුන් වෙන්නට බැහැ. අපි පොහොසත් වෙලා, සුපිරි පොහොසතුන් නොවෙන්නට හේතුව එයයි. සමාජය සංවර්ධනය නොරක රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.“

    “අද වන විට ලෝක බැංකු වාර්තාවන්ට අනුව මධ්‍යම ආදායම් ලබන රටවල් ඩොලර් 4,000 මට්ටමට පැමිණියාම, ඔවුන් හිරවෙනවා. දිස්ත්‍රික්ක මට්ටමට ගියාම රැකියා නිර්මාණය කිරීමේ ගැටළුව හඳුනාගන්න පුළුවන්.“

    “අද වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 7,800 ක්. මිලියනයක පමණක් ජනතාව ජීවත් වෙන කොළඹ නගරය ගත්තොත්, නිවාස දෙලක්ෂ පන්ස්දහසක් පමණක් තිබෙන, එහි ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 11,000 ට ආසන්න වෙලා තියෙනවා.  මේකයි හේතුව මම කියපු, තවත් අවුරුදු දෙකකින් අපි නගරයේ එක් පුද්ගල ආදායම සංවර්ධිත රටක මට්ටම වන ඩොලර් 12,640 ඉක්මවා යනවා.“

    “ඔබ ඇත්තටම සතුටු වෙන්න ඕනේ ඔබ නගරයේ නිසා. නමුත් ඔබ ගමක ජීවත්වෙනවා කියා සිතන නිසා ඔබ සතුටු වෙන්නේ නැහැ.“

    “සුභ ආරංචිය තමයි. ඔබ ඉන්නේ දෙහිවල, කෝට්ටේ, කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ නම් ඔබ ඉන්නේ නගරයේ. මිලියනයක ජනතාව අතර. ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්. නමුත් ඔබ තෘප්තිමත් වෙන්නේ නැහැ.“

    “අපි සිතිය යුතු ආකාරය මෙයයි. සමාජය සංවර්ධනය කරන්නේ කොහොමද. සමාජය පොහොසත් වුණාම, අපිට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන්. “