• Ada Derana BIZ Sinhala
  • ComBank
  • CSR
  • SME Banking
  • sri lanka

සමාජ සත්කාරක ව්‍යාපෘති සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය සඳහා මෙරට වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස යුරෝමනි කොමර්ෂල් බැංකුව තෝරාගනී

September, 2, 2022

කීර්තිමත් යුරෝමනි සඟරාව විසින් පැවැත්වූ 2022 වෙළෙඳපොළ නායකයින් ඇගයීමේ වැඩසටහනේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය වෙනුවෙන් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන ‘ආයෝජන බැංකුකරණය’ සහ ‘ඩිජිටල් විසඳුම්’ වෙනුවෙන්ද ඉහළම ඇගයීමක් ලබාදීම කැපී පෙනේ.

මෙම සමාරම්භක සම්මාන වැඩසටහනේදී මෙම අංශ හතරට අදාළව බැංකුවේ සාර්ථකත්වය ජාතික මට්ටමෙන් ඇගයීමට ලක්කර තිබෙන අතර යුරෝමනී සඟරාව විසින් දැනටමත් ප‍්‍රදානය කරන යුරෝමනී සහ ඒෂියාමනී සම්මානවලට අමතරව මෙම සම්මාන වැඩසටහන ආරම්භ කර තිබේ.

‘මේ ආකාරයේ ඇගයීමේ වැඩසටහනක් ඉතාමත් ආකර්ශනීයයි. ඒකට හේතුව වන්නේ සම්මාන ලබාදීමේදී සිදුකරන ඇගයීමකට වඩා ඔබ්බට වර්ගීකරණය කිරීමේ ක‍්‍රමවේදයක් මෙහිදී භාවිතා කිරීමයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘මෙහිදී, බහුවිධ ආයතන වලට විවිධ කාර්යසාධන අංශ වලින් ශ්‍රේණිගත වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ තුළින් අඩු මට්ටමක වර්ගීකරණයක් ලැබූ ආයතනවලට ඉහළ වර්ගීකරණයක් කරා යෑමට දිරියක් ලබාදෙනවා. සමාජ සත්කාරක ව්‍යාපෘති සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය යන අංශ වලින් ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස නම් වීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. මෙම අංශ දෙකට කොමර්ෂල් බැංකුව ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබා දෙනවා.’

මෙහිදී, කොමර්ෂල් බැංකුවට 2021 වසරේදී සිදුකළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රජා, සංස්කෘතික සහ ජාතික උරුමය මෙන්ම පාරිසරික ව්‍යාපෘති 600 කට වැඩි සංඛ්‍යාවක් ඇගයීමෙන් පසුව සමාජ සත්කාරක ව්‍යාපෘති යන අංශයේ ‘වෙළෙඳපොළ ප‍්‍රමුඛයා’ යන වර්ගීකරණය ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුව විසින් ‘බිස් ලෝන්’ සහ ‘ඇග‍්‍රි ගෝල්ඞ් ලෝන්’ යන ණය පහසුකම් මගින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතාවය නැංවීමේ වැඩසටහන් මගින්, ව්‍යවසායිකාවන්ට සහයෝගය ලබාදීමේ වැඩසටහන් මගින්, අඛණ්ඩවම ‘බෑන්ක් ඔන් වීල්ස්’ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම මගින් සහ කොවිඞ්-19 සහාය ණය ලබාදීම මගින් දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යපාරික ක්ෂේත‍්‍රය නගා සිටුවීමට සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම වර්ගීකරණයේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණයේදී වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස නම් කර තිබේ.

බැංකුව විසින් පාරිභෝගිකයින්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වර්ධනය කිරීම වෙනුවන් හඳුන්වා දුන් නව්‍ය වූ ඇප්, පහසුකම් සහ පද්ධති ඇගයීමට ලක්කරමින් මෙහිදී එම අංශ සඳහා ඉහළම ඇගයීමක් ලබාදී තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් සිදුකර තිබෙන ප‍්‍රධාන ආයෝජන බැංකුකරණ ව්‍යාපෘති අතරට ප‍්‍රමුඛ ලයිස්තුගත සමාගමක් සඳහා රුපියල් බිලියන 10 ක ණය සම්පාදනය කිරීම, සෞඛ්‍ය අංශයේ සිටින පාරිභෝගිකයෙකුට රුපියල් බිලියන 02 ක මූල්‍ය පහසුකම් ලබාදීම, මෙගාවොට් 08 ක විදුලිය ධාරිතාවයක් උත්පාදනය කිරීමට හැකි පොලොව මත සිදුකරන සූර්ය විදුලි ව්‍යාපෘති හතරක් සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම 2021 වසරේදී කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුව මගින් රුපියල් බිලියන 8.595 ක අරමුදල් රැස්කිරීම ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.