සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහාය

    June, 20, 2018

    ශ්‍රී ලංකාවේ සහල් පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීමට අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ එකඟතාව පළ කොට ඇත.

    ඒ අනුව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරල් මහතා (Dr. Mathive Morrell) සහ දකුණු ආසියානු කලාපයේ නියෝජිත ආචාර්ය නෆිස් මේ (Dr. Nafees Meah) මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

    ශ්‍රී ලංකාවත්, අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයත් ඒකාබද්ධව 2018 සිට 2023 දක්වා ක්‍රියාත්මක පස් අවුරුදු වැඩසටහනකට එකඟතාව පළ කරමින් ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

    මෙම අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ සහල්වල පෝෂ්‍යදායී බව නැංවීම, වී වගා කරන ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීම, ගොවීන්ගේ නිෂ්පාදන වියදම අඩුකිරීම මෙන්ම පස, ජලය සහ පෝෂණය විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම, කෘෂිකාර්මික අංශයේ විද්‍යාඥයින් සහ පර්යේෂකයින්ගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීම, කාන්තා කණ්ඩායම් ඇතුළු ගොවි පිරිස් වෙත තාක්ෂණික දැනුම ලබාදීම වැනි ඉලක්ක රැසක් මෙම අවබෝධතා ගිවිසුමට ඇතුලත් වේ.

    මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා අත්සන් තැබූ අතර අන්තර් ජාතික සහල් පර්යේෂණ අයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරල් මහතා අත්සන් තැබීය.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇති වී වර්ග ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි. දැනට අප රටේ වගා කෙරෙන සහල්වලට ජාත්‍යන්තර වෙළඳපළේ ඉල්ලුමක් නැතත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙන ඉහළ අස්වැන්නක් සහිත වී වර්ග ගණනාවක් රටවල් 15 ක වගා කෙරෙන බව ඇමතිවරයා සඳහන් කළේය.

    මෙහිදී ආචාර්ය මැතිව් මොරල් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සහල් පර්යේෂණ කටයුතු විධිමත් කිරීම සඳහා අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීය.

    එමෙන්ම සහල් පදනම් කරගත් ආහාර නිපදවීමටත් ඒ පිළිබඳ රටේ ජනතාව තුළ උනන්දුවක් ඇති කිරීමටත් පියවර ගන්නා බව ද ආචාර්ය මොරල් මහතා පැවසීය.