ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරය අනුබද්ධ IPL සමාගම, නැවත භාවිත කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණ නිකුත් කරයි

    July, 8, 2020

    කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇඳිරි නීති කාල සීමාවෙන් අනතුරුව රට යථා තත්ත්වයට පත් ව තිබෙන අද දවසේ, මුඛ ආවරණ පැළඳීම පිළිබඳ යළිත් වතාවක් කතාබහක් මතුව තිබේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව වැනි තෙතමනය සහිත දේශගුණයක් පවතින රටක ශල්‍ය මුඛ ආවරණ පැළඳීමෙන් උෂ්ණත්වය අධික වී සමෙහි පැලීම් පවා ඇතිවිය හැකි බැවින් රෙදි ආවරණ පැළඳීම වඩා සුදුසු බවයි.

    අද වන විට බොහෝ පුද්ගලයින් සිය මුඛ ආවරණ  වැරදි ලෙස භාවිත කරනු බහුල වශයෙන් දක්නට තිබේ. ඇතැමෙක් නාසයට පහලින් මුව පමණක් ආවරණය කරමින් පළඳින අයුරුද දැකිය හැකිය. එමෙන්ම, තමන්ට මෙන්ම තමන්ගෙන් අන් අයට වෛරසය බෝ වීමට ඉඩකඩ සලසමින්, පැළඳ සිටින මුඛ ආවරණ නැවත නැවත සකස් කිරීමටද, තවත් අයකු හා කතාබස් කිරීමේදී එය ඉවත් කිරීමටද වැඩි දෙනෙක් පෙළඹී සිටිති. රෙදිවලින් මැසූ මුඛ ආවරණ එය පැළඳ සිටින තැනැත්තා විෂබීජවලින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නෙවෙතත්, අනෙකුත් පිරිසට වෛරසය පැතිරීමේ අවදානම අඩු කිරීමට එමගින් හැකියාව පවතී. මේ තත්ත්වය යටතේ ලොව පුරා සිටින ප්‍රමාණික විද්වත්හු පෙන්වා දෙන්නේ, නැවත නැවත භාවිත කළ හැකි ‘ආරක්ෂිත මුහුණු ආවරණ’ මෙම අවදානම් කාල සීමාව ධනාත්මක විකල්පයක් ලෙසයි.

    කොරෝනා වෛරසය ඇස්වලින් ආසාදනය වීමේ අවදානම පිළිබඳව වෛද්‍යවරුන්ට තවමත් නිශ්චිත නැතත්, ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීර්තිමත් පර්යේෂණ මහාචාර්යවරයකු මෙන්ම ඩේවිඩ් ජෙෆන් වෛද්‍ය විද්‍යාලයෙහි වසංගත රෝග විශේෂඥවරයකු වන ජේම්ස් ෂෙරී සඳහන් කරන පරිදි ‘අප අවට පරිසරයෙහි බොහෝ වෛරස පවතින බැවින් ඇස් ආරක්ෂා කර ගැනීම වැදගත්’ වේ. සරම්ප හා ඇඩිනෝ වෛරසද ඇස් මගින් බෝවන බවට හෙතෙම උදාහරණ දක්වයි.(https://www.aarp.org/health/healthy-living/info-2020/shields-compared-to-masks.html)

    කොරෝනා වෛරසයෙන් ඇස් ආරක්ෂා කර ගැනීමට හොඳම විසඳුමක් ඉදිරිපත් කරන ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයි. පී. එල් සමාගම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව නිෂ්පාදනය කරන ලද ‘ආරක්ෂිත මුහුණු ආවරණ’ මේ වන විටත් වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කොවිඩ් 19 වැළැක්වීමේ කාර්යයෙහි පෙරමුණ ගෙන සිටින වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ආරක්ෂක අංශ සාමාජිකයෝ දැනටමත් මෙම මුහුණු ආවරණ, කොරෝනා සටනෙහි භාවිතයට ගත හැකි වඩාත් ආරක්ෂිත පලිහක් ලෙසින් යොදා ගනිති.

    ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම දිගු කලක් තිස්සේම, ලොව පුරා රෝහල්වල කාර්යයන් ගණනාවකදීම භාවිත කෙරෙන ආරක්ෂක ක්‍රමවේදයක් වේ. විශේෂයෙන් වෛද්‍යවරු හා හෙද හෙදියෝ ශල්‍ය කර්ම අතරතුර, ඉවතට විසිවන රුධිරයෙන් හා අස්ථි කොටස්වලින් ආරක්ෂා වීමට ආරක්ෂිත මුහුණු ආවරණ පළඳිති. එමෙන්ම මෙම පුද්ගල ආරක්ෂණ උපාංගය, සිය රාජකාරි අතරතුර කතාබස් කිරීමට හා මුහුණෙහි ඉරියව් භාවිතයට ගැනීමට අවශ්‍ය ගුරු වෘත්තිය ආදී වෘත්තීන්හි නිරත පිරිසට භාවිතයට ගැනීමෙන්, සාමාන්‍ය  මුඛ ආවරණ පැලඳීමෙන් ඇතිවන අවාසිවලින් වැළකිය හැකිය.

    මෙම ආරක්ෂිත මුහුණු ආවරණ සෑම කෙනකු විසින්ම භාවිත කළ යුතු ආරක්ෂණ උපාංගයක් වන අතර,  එමගින් ඇස් සහ නාසය ඇතුළුව මුළු මුහුණම ආරක්ෂා කර ගත හැකි බැවින්, මිනිසුන් සිය මුහුණු ස්පර්ශ කිරීමෙන්, තමන් නොදැනුවත්වම කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් වළක්වා ගත හැකිය. එය පැළඳීම මුඛ ආවරණයක් පැළඳීමට වඩා පහසු වේ. පුද්ගලයෙකුගේ නළලෙහි කුඩා කොටසක් වටා එතෙන පරිදි නිමවා ඇති මෙම මුහුණු ආවරණය සාමාන්‍ය මුඛ ආවරණයක් මෙන් නොව, දිගු කාලයක් භාවිතා කිරීමේදී ඇති විය හැකි කැසීම් හා සීරිම් අවදානමද අඩුය.

    නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ නිවැරදිව භාවිත කිරීම ඉතාමත් වැදගත් වන අතර, ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාර අනුබද්ධ IPL (ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා ලිමිටඩ්) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම ආරක්ෂිත මුහුණු ආවරණය මේ වන විටත් ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ගේ, දන්ත වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ, පොලිස් නිලධාරීන්ගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙන්ම සමාගම්වල ඉදිරි පෙළ කාර්ය මණ්ඩලවලද ප්‍රියතම තේරීම වී තිබේ.

    IPL සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත. එය සැහැල්ලු බරකින් යුක්ත වන අතර මිලිමීටර් 0.5 පොලිප්‍රොපිලීන් වලින් සාදා ඇති දෘඩ හිස් පටියකින්ද යුක්ත වේ. නළලට සරිලන සේ නිර්මාණය කර ඇති අතර විනිවිද පෙනෙන කොටසෙහි බොඳවීම අඩු කිරීම සඳහා ආවරණය හා සහ නාසය අතර ප්‍රමාණවත් පරතරයක් පවතින පරිදි නිමවා තිබේ.  විනිවිද පෙනෙන කොටස නිමවා ඇත්තේ පොලිකාබනේට් වලින් වන අතර එය ඉතා කල් පවතින මෙන්ම පිරිසිදු කිරීමට පහසු අමු ද්‍රව්‍යයකි. පොලිකාබනේට් මගින 90% ක් තරම් ප්‍රශස්ත ආලෝක සම්ප්‍රේෂණ හැකියාවක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පීවීසී / පීඊටී මුහුණු ආවරණයකට වඩා හොඳ පැහැදිලි බවක් මෙමගින් ලබා දේ. මෙම විශේෂිත මුහුණු ආවරණය, ප්‍රමුඛ පෙළේ ඔසුසැල්වලින් රු .750.00 ක සාධාරණ මිලකට මිලදී ගත හැකිය.