ස්වයංපෝෂිත ශ‍්‍රී ලංකාවක් සඳහා යුධ හමුදාවේ ‘තුරු මිතුරු’ වැඩසටහන සමග කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    September, 21, 2020

    ශ‍්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුළින් ස්වයංපෝෂිත කිරීම සඳහා සකස් කර තිබෙන ‘තුරු මිතුරු නව රටක්’ වැඩසටහනේ දෙවන අදියර සඳහා මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග ඒකාබද්ධ වී තිබේ.

    මේ අනුව, මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ මධ්‍යම පළාතේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සමීප අධීක්ෂණය යටතේ ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා අඩු ආදායම් ලාභී ගොවි පවුල් 150 ක් සම්බන්ධ කරගනිමින් අක්කර 125 ක විවිධ වූ බෝග වර්ග වගා කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී, මෙම ගොවීන්ට අයත් ඉඩම්වල මෙම බෝග වර්ග වගාකිරීමට අවශ්‍ය පහසුකම්, කුසලතා සහ දැනුම ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සපයනු ඇත.

    මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව ලබාදෙන අරමුදල් අත් ට‍්‍රැක්ටර්, මිනි කල්ටිවේටර් සහ මිනි රොටරි ස්ලෑෂර් ඇතුළු කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණ මිලදී ගැනීමටත් ලීටර් 10,000 ක වතුර ටැංකි, වතුර පොම්ප සහ කිලෝ 620 ක කැරට්, බෝංචි, බඩ ඉරිඟු බීජ මිලදී ගැනීම සඳහාත් යොදවනු ඇත.

    මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක මගින් මෙරට කෘෂි කාර්මික අංශයේ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා දිගු කාලයක පටන් විශාල සහයෝගයක් ලබාදෙනවා. මෙම සහයෝගය අපි ලබාදෙන්නේ මෙම ක්ෂේත‍්‍රය මෙරට ග‍්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස අපි විසින් හඳුනාගෙන තිබෙන නිසයි. ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ මෙම උතුම් සත්කාරය සඳහා මූල්‍ය අනුග‍්‍රහය ලබාදීම මගින් මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ ස්වයංපෝෂිත බව ඇතිකිරීම වෙනුවෙන් සහයෝගය ලබාදීමට අපටත් හැකිවී තිබෙනවා. රට වෙනුවෙන් අප තුළ තිබෙන දැක්ම සමග මෙම වැඩසටහන මනාව ඒකාබද්ධ වෙනබව කිව යුතුයි.’

    ‘තුරු මිතුරු නව රටක්’ යන ක්ෂුද්‍ර මට්ටමේ මෙම වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ආරම්භ කළ අතර එයට නායකත්වය ලබාදෙන්නේ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරල් ජගත් එස්. ගුණවර්ධන මහතා විසිනි. මෙම වැඩසටහන මගින් බීජ සහ පැළෑටි ලබාදීම මගින් දේශීය කෘෂි කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් ඉඩම් වගාකර කෘෂි කාර්මික පුනරුදයක් ඇතිකිරීමට ඉලක්ක කර තිබේ.

    මෙම වැඩසටහන අදියර තුනකින් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පළමු වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකා යුධ හමුදා කඳවුරු ඇතුළත අක්කර 1500 කට වැඩි භූමි ප‍්‍රමාණයක් වගා කිරීමට කටයුතු කර තිබේ. කොමර්ෂල් බැංකුවේ සහයෝගය ඇතිව ක‍්‍රියාත්මක කරන දෙවන අදියර අවසන් කිරීමෙන් පසුව තුන්වන අදියර සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ ඉඩම් අත්පත් කරගනිමින් වගා කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් පුළුල් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් සිදුකරන අතර තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය, අන්තර්ජාල අධ්‍යාපනය, පාසැල් හැර යන්නන්ට වෘත්තීය පුහුණුව ප‍්‍රවර්ධනය කිරීම, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, පෞරාණික, සංස්කෘතික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථාන ආරක්ෂා කර ගැනීමට සහ යථා තත්ත්වයට පත්කර ගැනීමට සහයෝගය ලබාදීම, පාරිසරික සංරක්ෂණය ප‍්‍රවර්ධනය කිරීම සහ ප‍්‍රජාවට අවශ්‍ය මොහොතේ උපකාර කිරීම මෙම වැඩසටහන් අතර කැපී පෙනේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

     

    සේයාරු සටහන - (වම් සේයාරුව) කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සහ යුධ හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගිවිසුම හුවමාරු කරගන්නා අවස්ථාවේදී. (දකුණේ, ඉහළ සහ පහළ) ‘තුරු මිතුරු නව රටක්’ වැඩසටහන යටතේ කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණ බෙදාදීමේ අවස්ථාවට බැංකුවේ සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.