‘සාරි කනෙක්ෂන්’ ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

    March, 15, 2017

    ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සහ 'සාරි කනෙක්ෂන්' විදහා පෑම සඳහා කොළඹ බෙයාෆුට් ගැලරිහි පැවති උළෙල සඳහා සිය සහයෝගය ලබා දුන්නේය. සාරි කනෙක්ෂන් ව්‍යාපෘතියට සම්බන්ධ යාපනය සහ මුලතිවු ප්‍රදේශවල ඇඳුම් මහන්නියන් සහ ඔවුන්ගේ සුවිශේෂී නිෂ්පාදන ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

    ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සාරි කනෙක්ෂන් ව්‍යාපෘතිය, JICA ආයතනයේ සහයෝගය හිමිවන PARC අන්තර්-පුද්ගල සහයෝගීතාව (PARCIC) යන ලාභ නොලබන සංවිධානය විසින් දියත් කරනු ලැබේ.

    භාවිතා කරන ලද සාරි ආශ්‍රයෙන් මෙම ව්‍යාපෘතිය යටතේ නිමැවෙන අසමසම හස්ත නිෂ්පාදන සඳහා වෙළඳපල තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතී. බ්ලවුස්, කලිසම්, කාන්තා උපාංග, කුෂන් කවර ආදී ප්‍රජාවන් තුළ ඉතා ජනප්‍රිය නිෂ්පාදන පෙළක් මෙම ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කෙරේ. යුද්ධයෙන් සහ සුනාමියෙන් පීඩාවට පත් යාපනය සහ මුලතිවු ප්‍රදේශවල කාන්තාවන් විසින් මෙම භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන අතර ඒවා අලෙවියෙන් ඔවුහු සිය ජීවිත ගොඩනගා ගනිමින් සිටිති.

    මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ප්‍රදේශවලින් සාරි එක්රැස් කෙරෙන අතර උතුරු පළාතේ කාන්තා කණ්ඩායම් විසින් එම සාරි මගින් අලංකාර ඇඳුම් සහ වෙනත් උපාංග නිර්මාණය කෙරේ. මෙම නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායම එම කාන්තාවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වී ඇත. නිෂ්පාදන සඳහා සංචාරක වෙළඳපල තුළ විශේෂ අවධානයක් හිමි වී ඇති අතර, ලක්සල, ලක්පහන සහ ගාල්ල බෙයාෆුට් ආදී සිහිවටන අලෙවිසැල් දක්වා ද ඒවායේ අලෙවි ජාලය ව්‍යාප්ත වෙමින් පවතී.

    ඇඳුම් මහන්නියන් තිදෙනෙක් මෙහිදී සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් භාවිතයෙන් ඉවත් කළ සාරි ආශ්‍රයෙන් බෑග් නිර්මාණය කරන ආකාරය ද පෙන්නුම් කළෝය. සිය පවුල සහ මහලු දෙමාපියන් රැක බලා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය බෙහෙවින් උපකාරී වූ බව යාපනයේ සෙල්වරන්චිනි මහත්මිය සඳහන් කළාය. යුද්ධය සහ සුනාමි ව්‍යයසනය හේතුවෙන් සිය ආදරණීයයන් අහිමි වූ ඈ වැනි කාන්තාවන්ට මෙම ව්‍යාපෘතිය අනාගත අපේක්ෂාවක් ලබා දෙන අතර, එම නිර්මාණ හරහා සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද ඔවුන්ට හිමි වී ඇත. මුලතිවු ප්‍රදේශයේ පුෂ්පලතා මහත්මිය මෙහිදී ප්‍රකාශ කර සිටියේ විවිධ මැහුම් ක්‍රම දැන ගැනීමට හැකි වූ බැවින් මහන්නියක ලෙස තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය මනා පිටිවහලක් වූ බවය.

    සිංගර් ව්‍යාපාරික පාසලේ ප්‍රධානී කෝෂිත පෙරමුණුගමගේ මහතා ඇතුළු සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ කණ්ඩායමක් ව්‍යාපෘතිය සඳහා සාරි පෙට්ටි දෙකක් සහ මහන මැෂින් දෙකක් මෙහිදී ප්‍රදානය කළෝය. සාරි කනෙක්ෂන් ව්‍යාපෘතිය සඳහා ඕනෑම වර්ගයක භාවිතා කරන ලද සාරි එකතු කෙරේ. ඔබගේ සාරි ප්‍රදානය සඳහා කරුණාකර sariconnection@parcic.org සමග සම්බන්ධ වන්න.