September, 6, 2017
ටෝක්යෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි තෙවැනියට විශාලතම කොටස්කරුවා වූ Ube Singapore Holdings Pte. Ltd, සිය හිමිකාරීත්වයෙන් හරි අඩක් අද (06) දිනයේ දී අලෙවි කොට තිබේ. කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ගවලට අනුව ටෝක්යෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී හි ඡන්ද බලට හිමි සාමාන්‍ය කොටස් 13,365,000 ක් අද උදෑසන රු. 72.10 බැගින් ගිවිසා ගත් ගනුදෙනුවක් ලෙස හුවමාරු වී ඇත. වාර්තාවන අන්දමට මෙය Ube Singapore Holdings හි අන්තර් සමාගම් ගනුදෙනුවකි.
මෙම ගනුදෙනුවත් සමගම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටමු අද උදෑසන දීම රුපියල් බිලියනය සීමාව ඉක්මවා ගියේය. අදාළ ගනුදෙනුවේ වටිනාකම රුපියල් 963,616,500.00 කි.
ටෝක්යෝ සිමෙන්ට් හි 10% ක කොටස් හිමිකාරීත්වයක් එහි තෙවැනියට විශාලතම කොටස්කරුවා වූ Ube Singapore Holdings Pte. Ltd විසින් තහවුරු කර ගෙන සිටියේ කොටස් 26,730,000 කට හිමිකම් කීමෙනි.
කෙසේ වෙතත් Ube Singapore Holdings Pte. Ltd විසින් 2017 ජූනි 27 දින එතෙක් ටෝක්යෝ සිමෙන්ට් සමාගමේ තමන් සතුව පැවති 2% ක කොටස් හිමිකාරීත්වය 10% ක් දක්වා වැඩිකර ගනු ලැබූයේ රු. 72.00 බැගින් කොටස් මිලියන 10.7 ක් මිල දී ගනිමිනි.
Video Story