සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි

    October, 16, 2018

    ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ.

    හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින ගනුදෙනු වූයේ රුපියල් බිලියන 1.67 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කරමිනි. මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) හි විශාල.ම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අත් හරිනු ලැබීය.

    මෙම ගනුදෙනුව ද ඇතුළුව ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය විකුණුම් රු. බිලියන 1.78 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 65.17 ක් පමණක් විය.

    ඊයේ (15) කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලිවන 1.98 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 771.5 මෙන් 2 ½ ක ගුණයකි. එසේම පසුගිය අගෝස්තු 07 වැනිදායින් පසු වාර්තා වුණු වැඩිම දෛනික කොටස් පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ.