සිංගර්, පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක සමග අත්වැල් බැඳගනියි

    February, 24, 2020

    ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ ඉදිරිපත් කරන සිංගර්, බේකරි ආහාර නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන සිය පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් පිරි නැමීම සඳහා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක වන දුෂාන්ති මදනායක සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. ඒ අනුව, ඉදිරි දෙවසරක කාලයක් සඳහා සිංගර් හා සම්බන්ධ වෙමින් දුෂාන්ති මදනායක, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි සිංගර් උපකරණ පිළිබඳව ඇය කේක් නිර්මාණ පිළිබඳ පන්ති පවත්වන කේක් ඇකඩමිය මගින්ද, යූ ටියුබ් නාලිකාව ඔස්සේද, දැනුවත් කිරීමට නියමිතය. දුෂාන්ති මදනායකගේ කේක් ඇකඩමියද සිංගර් වෙළෙඳ පොළට ගෙන එන නවතම ගෘහ උපකරණවලින් සමන්විත වන අතර, කේක් නිර්මාණ පන්තිය සඳහා සිංගර් බේකරි උපකරණද භාවිත කෙරේ. මෙම නවතම සබඳතාවය මගින් කේක් කර්මාන්තයේ නියැලෙන සිංගර් පාරිභෝගිකයින්ට ඒ සඳහා වඩාත් ගැලපෙන, හොඳම උපකරණ පිළිබඳ දුෂාන්ති මදනායක හරහා දැනුවත් වීමට හැකියාව ලැබේ.

    “සිංගර් මගින් අපේ පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන ඉදිරිපත් කරනවා පමණක් නොවෙයි, ඔවුන්ගේ පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමත් අපේ අරමුණක්. දුෂාන්ති මදනායක සමග සම්බන්ධ වීම මගින්, අපගේ අරමුණ සැබෑවක් කර ගැනීමට හොඳ පියවරක් අප ඉදිරියට තැබූ බව විශ්වාසයි.”  සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා සඳහන් කළේය.

    කේක් හා ඉවුම් පිහුම් වැඩසටහන් විකාශය කරන රූපවාහිනී නාලිකා ගණනාවක සම්පත් දායිකාවක වන දුෂාන්ති මදනායක පළපුරුදු කේක් නිර්මාණ ශිල්පිනියකි. අයිසින් නිර්මාණ සැරසිලි ක්ෂේත්‍රයට 25 වසරක පළපුරුද්ද තිලිණ කරන ඇය, දශකයකට වැඩි කලක් පුරා කොළඹ නගරයට රසවත් කේක් සපයන ප්‍රකට White Flower Cakes and Weddings (Pvt) Ltd හි හිමිකාරිනියද වෙයි. එමෙන්ම, ක්ෂේත්‍රයේ ආධුනිකයින් හට අයිසින් හා කේක් සැරසිලි කලාව පිළිබඳ දැනුම ලබා දෙන,‍ කේක් ඇකඩමියෙහි හිමිකාරිනිය ද ඇයයි. එමෙන්ම, සිය දීර්ඝකාලීන අත්දැකීම් සමග දිවයින පුරාම කේක් නිර්මාණ පන්ති හා ප්‍රදර්ශන පවත්වමින්, ක්ෂේත්‍රයේ වෘත්තිකයින් බිහි කිරීම සඳහා සිය සිසු සිසුවියන් දැනුමෙන් සන්නද්ධ කරමින් සිටියි.

    “බේකරි නිෂ්පාදන හා උපකරණ පිළිබඳව මා සතු දැනුම බෙදා හදා දීමට සිංගර් හා අත්වැල් බැඳ ගැනීමට හැකි වීම මට ගෞරවයක්. නවතම සිංගර් බේකරි උපකරණ නිසා ඉවුම් පිහුම් කලාව උනන්දුව වැඩිකරන විනෝද ජනක කටයුත්තක් වී තිබෙනවා. සිංගර් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බේකරි උපකරණ භාවිතා කර හොඳ පළපුරුද්දක් තිබෙන නිසාම, කේක් ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම අයකුට සිංගර් බේකරි උපකරණ මිලදී ගැනීම සුදුසුයි කියල මම අනුමත කරනවා. කේක් නිර්මාණය කියන්නෙ ප්‍රගුණ කළ යුතු කලාවක්, එම කලාවේ නිර්මාණාත්මක ගුණය මතු කිරීමට සිංගර් බේකරි උපකරණ සුවිශාල රුකුලක් සපයනවා.”  ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක සඳහන් කළාය.

    සිංගර් වෙළෙඳ පොළට නිකුත් කරන, Singer, Kenwood chef, Beko Ovens, Beko Built-in products හා Moulinex mixtures ආදිය දුෂාන්තිගේ කේක් ඇකඩමියෙහි විශේෂ අවධානයට ලක්වන උපකරණ ලෙසින් සැලකේ. නවීනතම මුළුතැන්ගෙයක ස්වරූපය සිහියට නංවමින් සකස් කළ ඇගේ එම කේක් ඇකඩමියෙහි  Beko, Kenwood, Moulinex ආදී සන්නාමවල බේකරි උපකරණ ප්‍රදර්ශනයටද තබා තිබේ. සිංගර් නිෂ්පාදන පෙළෙහි වඩාත් ඇගයීමට ලක් වන්නේ built-in සංකල්පයට අනුව නිෂ්පාදනය කළ උපකරණ වන අතර, ඒවා දේශීය පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක්ද අත් කරගෙන තිබේ. ඒ, එම නව සංකල්පය මුළුතැන්ගෙයට ආලෝකයක් එක් කරන අතරම, ඉවුම් පිහුම් කලාව ඉතා විනෝදජනක පහසු කාර්යයක් බවට පත් කිරීම හේතුවෙනි.

    දුෂාන්ති මදනායක කේක් ඇකඩමියෙන් පාඨමාලා හදාරන සිසු සිසුවියන් හට විශේෂ වට්ටම් යටතේ උපකරණ මිලදී ගැනීමටද සිංගර් අවස්ථාව සලසා තිබේ.