සිගරට් අලෙවිය 11% කින් අඩුවෙලා – දුම්කොළ සමාගම කියයි

    November, 13, 2019

    පසුගිය කාර්තුව තුළ දී සිය සමස්ත අලෙවි පරිමාව 11%කින් පහළ බැස ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සමාගම මේ බව කියා සිටී. මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ පසුගිය වසර තුළ සිදු වූ බදු ඉහළ යාම් මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

    මෙම කාලය තුළ දී රජය වෙත ගෙවා ඇති බදුවල වටිනාකම රුපියල් මිලියන 800 කින් ඉහළ ගොස් ඇති බව ද සමාගම සඳහන් කරයි.
    මෙම මූල්‍ය කාර්තුව තුළ දී ලංකා දුම්කොළ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 4.51 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 වසරේ අදාළ කාර්තුවෙහි බදු ගෙවීමෙන් පසු ලාභ අගය වූ රුපියල් බිලියන 3.65 හා සැසඳීමේ දී 23.55% ක වර්ධනයකි.

    මේ අතර 2019 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 තුළ ලංකා දුම්කොළ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 13.21 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 වසරේ මුල් මාස 09 හි බදු ගෙවීමෙන් පසු ලාභ අගය වූ රුපියල් බිලියන 11.74 ට වඩා 12.48%ක ඉහළ යාමකි.

    කෙසේ වෙතත් මෙම මාස 09 තුළ දී දුම්කොළ සමාගම විසින් ආදායම් බදු ද ඇතුළුව රජයට ගෙවා ඇති සියලූම බදුවල වටිනාකම් රුපියල් බිලියන 91.23 සිට රුපියල් බිලියන 88.5 දක්වා 3%කින් පහළ ගොස් තිබේ.

    ලංකා දුම්කොළ සමාගම විසින් සිය කොටස්කරුවන් වෙනුවෙන් රුපියල් 21 බැගින් වන පරිදි අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත.