සිගරට් අලෙවිය 15% කින් පහළට

    May, 17, 2019

    2018 අගොස්තු මාසයේ දී හා 2019 මාර්තු මාර්තු මාසයේ දී සිගරට් මත අයකෙරෙන බදු ඉහළ දැමීම හේතුවෙන් 2019 මුල් කාර්තුව තුළ දී සිගරට් අලෙවි පරිමාව 14.9% කින් පහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් සාමාගම මේ බව කියා සිටී.

    මෙහිදී ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් පවසන්නේ මාස 09 ක් වැනි කාලයක් තුළ දී සිගරට් මිල 30% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. තවද නිෂ්පාදන හා අනෙකුත් බදු හරහා මෙම කාර්තුව තුළ දී රුපියල් බිලියන 26 ක ආදායමක් රජයට ලබා දීමට සමාගම කටයුතු කර ඇති බව ලංකා දුම්කොළ සමාගම සඳහන් කරයි.

    මේ අතර 2019 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 4.06 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2018 මාර්තු කාර්තුවේ දී වාර්තා කර ඇති රුපියල් බිලියන 3.73 හා සැසඳීමේ දී 8.67% ක වර්ධනයකි.

    සමාගමේ කොටස් හිමියන් වෙනුවෙන් එක් කොටසක් සඳහා රුපියල් 19.00 ක් බැගින් වන පරිදි පළමු අතුරු ලාභාංශය මේ අතර ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2019 ජූනි 04 දින ගෙවීමට නියමිතය.