සිගරට් අලෙවිය 19% කින් පහළට. රජයේ බදු ආදායමත් අඩුවෙලා

    February, 26, 2020

    2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී සිය සමාගමේ අලෙවි පරිමාව පෙර වසරේ අනුරූප කාලපර්ච්ඡේදයට සාපේක්ෂව 19% කින් පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කරමින් සමාගම මේ බව කියා සිටී.

    ලංකා දුම්කොළ සමාගම මෙහිදී වැඩිදුරටත් පවසන්නේ 2019 තුළ දී සිදුකරන ලද බදු ඉහළ දැමීම් හේතුවෙන් සමාගමේ අලෙවි ආදායම අදාළ කාර්තුව තුළ දී රුපියල බිලියන 2.23 කින් පහළ ගොස් ඇති බවයි. සමස්තයක් ලෙසින් ගත් කල සමාගමේ වාර්ෂික ආදායම ද රු. බිලියන 145.29 සිට රු. බිලියන 141.34 ක් දක්වා රු. බිලියන 3.95 කින් පසුගිය වසර තුළ දී පහළ ගොස් තිබේ.

    මේ අතර ලංකා දුම්කොළ සමාගමෙන් රජයට ලැබුණු දුම්කොළ බදු ආදායම පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 29.14 සිට රු. බිලියන 25.89 ක් දක්වා රු. බිලියන 3.24 කින් පහළ ගොස් ඇති අතර 2019 වසර තුළ දී මෙම අගය රු. බිලියන 7.55 කින් පහළ ගොස් තිබේ.

    මේ අනුව පසුගිය වසර ගණනාවක් පුරාවට සිගරට් මත අයකරනු ලැබූ බදු අනුපාතිකයන් ඉහළ දැමීම රජයේ බදු ආදායම ඉහළ දමා ගැනීමේ අරමුණින් සිදුකරන ලද්දක් නම්, එම ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත්, සිගරට් බදු ඉහළ දැමීම හරහා දුම්පානය අධෛර්යමත් කරලීම අරමුණු කර ගත්තේ නම් එම ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත්ව ඇති බවත් මෙම මූල්‍ය ප්‍රතිඵල නිරීක්ෂණයේ දී පෙනී යනු ඇත.

    කෙසේ වෙතත් ලංකා දුම්කොළ සමාගම මෙහිදී පවසන්නේ නීත්‍යානුකූල සිගරට් මත පනවන බදු ඉහළ දැමීම හේතුවෙන් නීතිවිරෝධී සිගරට් සංසරණය ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් නීත්‍යානුකූල සිගරට් සහ නීතිවිරෝධී සිගරට් අතර විශාල මිල පරතරයක් පවතින බවත්, පාරිභෝගිකයින් නීතිවිරෝධී සිගරට් පරිභෝජනය සඳහා පෙළඹීම ඉහළ ගොස් ඇති බවත් පවසන සමාගම, මේ තත්ත්වය නීත්‍යානුකූල සිගරට් අලෙවි කර්මාන්තයේ යෙදෙන තම සමාගමේ ආදායමට මෙන්ම රජයේ බදු ආදායමට ද අහිතකර ආකාරයෙන් බලපා ඇති බව ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් කියා සිටී.