සිගරට් අලෙවිය 6% කින් ඉහළට. මාස 06 කදී රජයට රු. බිලියන 63 ක බදු ආදායමක්.

    August, 9, 2018

    ලංකා දුම්කොළ සමාගමේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය  ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී ලංකා දුම්කොළ සමාගම පවසන්නේ 2018 ජූනි 30 න් අවසන් දෙවන කාර්තුව තුළ දී සිගරට් අලෙවිය 2.3% කින් වැඩි වී ඇති බවත්, එහිදී දේශීය සිගරට් අලෙවිය 6% කින් වැඩි වී ඇති බවත්ය.

    2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී දුම්කොළ සමාගම රුපියල් බිලියන 4.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 2017 දෙවන කාර්තුවේ බදු පසු ලාභ අගය වූ රු.බිලියන 2.95 හා සැසඳීමේ දී එය 47% ක දැවැන්ත වර්ධනයකි.

    පසුගිය කාර්තුවේ දී සමාගම විසින් රජයට ලබා දී ඇති බදු ආදායම රු. බිලියන 31 සිට රු. බිලියන 33 දක්වා රු. බිලියන 2 කින් වැඩි වී ඇති අතර මේ අනුව 2018 මුල් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ලබා දී ඇති සමස්ත බදු ආදායම රු. බිලියන 63 කි. එහිදී දුම්කොළ බදු වශයෙන් රු. බිලියන 57.72 ක් සහ ආදායම් බදු වශයෙන් රු. බිලියන 5.36 ක්, සමාගම විසින් රජයට ගෙවා තිබේ.

    මේ අතර ලංකා දුම්කොළ වැඩිදුරටත් කියා සිටින්නේ මිලියන 500 කට අධික නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණයක් මේ වන විට වෙළෙඳපොළේ ඇති බවයි. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව රු. බිලියන 20 ක පමණ බදු ආදායමක් අහිමි වන බව සමාගම අවධාරණය කර සිටී.

    පසුගිය ජූලි 31 වන දා සිට දුම්වැටියක් සඳහා වන දුම්කොළ බද්ද රු. 3.80 කින් ඉහළ දැමූ අතර ඊට සමාගමීව දුම්වැටියක මිල රු. 5.00 කින් ඉහළ දැමීමට දුම්කොළ සමාගම විසින් තීරණය කරන ලදී.

    සිගරට් මිල හා රජයේ බදු ආදායම සම්බන්ධයෙන් එහිදී අද දෙරණ Biz පළ කරන ලද විශේලේෂණාත්මක ලිපිය පහත දැක්වේ.

    http://biz.adaderana.lk/%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%B1-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A/