සිගරට් මිල වැඩිවුණාම හොර සිගරට් වැඩිවෙලා – දුම්කොළ සමාගම කියයි

    August, 22, 2017

    2017 වසරේ පළමු භාගය තුළ දී මෙරට නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් නීතිවිරෝධී දුම්වැටි සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 1,190 ක් සිදු කර ඇති බවත් එහිදී නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි මිලියන 40 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ලංකා දුම්කොළ සමාගම සිය 2017 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව වෙනුවෙන් අදාළ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කරමින් කියා සිටී. මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද දුම්වැටිවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 1.9 ක් පමණ වනු ඇති බවයි.

    මේ අතර 2016 වසරේ සිව්වන කාර්තුවේ දී මෙරට දුම්වැටි සඳහා පනවන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් දුම්වැටි මිල ඉහළ යාමත් සමඟම මෙලෙස නීතිවිරෝධී දුම්වැටි වැඩි වශයෙන් රට තුළට පැමිණීම සිදුව ඇති බව සමාගමේ විශ්වාසයයි.

    ලංකා දුම්කොළ සමාගම 2017 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව තුළ දී රුපියල් බිලියන 2.95 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය 2016 වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 3% ක පහළ යාමකි.

    තවද සමාගම විසින් 2017 මුල් මාස 06 තුළ දී රජයට ගෙවා ඇති සම්පූර්ණ බදුවල වටිනාකම රුපියල් මිලියන 51,930 ක් ලෙසින් වාර්තා වේ. 2016 පළමු භාගයේ දී වාර්තා වූ අදාළ බදු වටිනාකම රුපියල් මිලියන 44,688 කි.