සිදුවන්නේ චරිත ඝාතනයක් – ඇමති රවී

    July, 26, 2017

    නිකරුණේ තමන්ගේ චරිතය ඝාතනය කිරීමක් සිදුවන බවත්, ඊට බැඳුම්කර කොමිසම ඉදිරියේ පිළිතුරු දීමට තමා සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය . අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    මෙහිදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාර පහත සඳහන් වේ.

    මාධ්‍යවේදියා - අද දින බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් වනවාද ?

    ඇමති රවී - මට බොහොම ආඩම්බරයි ආණ්ඩුවකින් අපේ ආණ්ඩුවේ කැබිනට්වරයෙක් යනවා මේ වගේ ස්වාධීන කොමිසමකට. මීට පෙර ආණ්ඩුවක් නැති කරපු අය ගැන මුකුත් කරලා නැහැ. නමුත් අපි යනවා. ඒක තමයි අපේ තියෙන විනිවිදභාවය හා ඉදිරියට යෑම.

    මේකේ පෙන්නන්න හදන්නේ නිකරුණේ රවී කරුණානායකගේ චරිත ඝාතනයක් කිරීමට. මේකේ කොහෝවත් තියෙනවාද අපේ කියලා. කොම්පැනි මේවා ගෙනල්ලා මෙතන පෙන්නනවා. අපි මේවා ඔක්කොම වත්කම් හා බැරකම්වල තිබෙනවා. ඒකයි මට පුදුම මෙච්චර මේ ලොකු දෙයක් මේ වගේ කරන්නේ.

    මාධ්‍යවේදියා -ඇලෝෂියස් මහත්තයා ඔබතුමාගේ නිවසකට කුලී ගෙව්වා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා?

    ඇමති රවී - අපි ඒක කොමිසමට ගියාම බලමු. කවුද ගෙවලා තියෙන්නේ. මොකටද ගෙවලා තියෙන්නේ කියලා.

    මාධ්‍යවේදියා - ඔබතුමා පිළිගන්නේ නැද්ද ඒක?

    ඇමති රවී - මම කොමිසම ඉදිරියේ ඒකට උත්තර දෙන්නං. ඔයා ඇහුවට අපි බය නැතුව උත්තර දෙන්නේ ඒ වගේ මුකුත් නැති නිසානේ.