සියලු කොටස් 5,000 න් පහළට. 2012 ජූලි මාසයෙන් පසු අඩුම තැනට කොටස් වෙළෙඳපොළ පතිත වෙයි

    March, 13, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ.

    මේ අතර අද (13) දින සතියේ තෙවැනි වරටත් දෛනික ගනුදෙනු අතරවාරයේ දී S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපේක්ෂව 5% ක් ඉක්මවා පහළ වැටීම හේතුවෙන් පෙරවරු 10.02 ට ගනුදෙනු තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 87.72 කින් පහළ ගොස් ඒකක 2,205.73 ක් ලෙසින් සටහන් විය. මීට පෙර ඊයේ (12) සහ පසුගිය අගහරුවාදා (10) දිනයන් හි දී මෙලෙස තාවකාලිකව දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

    දිනය තුළ රුපියල් බිලියන 1.04 ක පිරිවැටුමක් වාර්තා වූ අතර මෙම සතිය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 3.33 කි. මෙම සතිය තුළ රු. මිලියන 847.91 ක විදේශීය මිල දී ගැනීම් සහ රු. බිලියන 1.23 ක විදේශීය විකිණුම් වාර්තා වී ඇත.

    තව ද මෙම සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පෙර සතියට සාපේක්ෂව 8.76% ක පහළ යාමක් වාර්තා කර ඇති අතර 2020 මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ 20.47% කින් පහළ ගොස් ඇත.