සියලූම නිවාසවලට සුර්ය බල පද්ධති – රජයෙන් සහණ ණය වැඩපිළිවෙලක්

    March, 23, 2017

    මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි.

    එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ ණය පොලී සහනය මුලින් සැලසුම් කළ පරිදි මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා පමණක් සීමා නොකොට සියලුම ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා අදාළ කිරීමට රජය තීරණය කර ඇත.

    මේ සඳහා රජයේ හෝ ඕනෑම පෞද්ගලික බැංකුවකින් ලබා ගන්නා ණය සඳහා ණය පොලී සහනය ලබා දීමටත්, ණය පොලී සහනය ලබා දීමට යෝජිත ණය මුදලේ සීමාව රුපියල් 150,000/- සිට රුපියල් 350,000/- දක්වා වැඩි කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.