සිරස පුවත ගැන කල්පිටිය බීච් රිසෝට් මෙසේ කියයි

    May, 21, 2015

    සිට්රස් ලෙෂර් සමාගමට අයත් කල්පිටිය බීච් රිසෝට් හෝටලය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගියදා විකාශය කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳ එම හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරුණු දැක්වීමක් කර තිබේ.

    අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන්ය.

    කල්පිටිය බීච් රිසෝට් යනු සිට්රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙක් එකක් පමණි.

    මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර 200ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ.

    කල්පිටිය හෝටලය ගොඩනැඟීම ප්‍රමාද වූයේ මෙම ව්‍යාපෘතිය රජයේ කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සමග අත්‍යන්තව බැඳී තිබීමත්,එම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් යෝජිත කාලය තුළ ආරම්භ නොකර අත්හිටුවීමත් යන හේතු සමගිනි.

    කොටස්කරුවන්ගේ දැනුමත් සමගින් යුතුව මෙම කල්පිටිය හෝටලය ඉදිකිරීම ප්‍රමාද කරන ලද අතර ඒ බව නිරන්තරයෙන් කොටස්කරුවන්ට නීත්‍යනුකූලව දැනුම්දී ඇත.

    කෙසේ වෙතත් මෙම හෝටලය ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලුම ව්‍යවස්ථාදායක අනුමැතීන්ද ලබාගෙන ඇති අතර මෙම හෝටලය ලාභදායක ලෙස පවත්වාගෙන යාහැකි අයුරින් ආරම්භ කරන ලද ආකාරය පිළිබඳව විදේශ සහකරුවන් සමගද සාකච්ඡා කරමින් තිබේ.

    මේ අතරතුර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව අප සමාගම් වෙත මාර්තු 20 වන දින මේ පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනා කළ අතර ඒ අනුව සියලුම කොටස්කරුවන් වෙත අප විසින් අප්‍රේල් මස 07 වන දින චක්‍ර ලේඛනයක් යවන ලදී.

    නමුත් මෙම චක්‍රලේඛනයේ මෙම හෝටලය ආරම්භ කරන නිශ්චිත දිනයක් සඳහන් නොකරන ලද අතර නැවත අනාගත දිනයකදී නිශ්චිත යෝජනාවලියක් සහිතව කොටස්කරුවන් සඳහා විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වෙනු ඇත.

    තත්ත්වය මෙසේ තිබියදී එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ගෙනයනු ලබන පදනම් විරහිත හා ද්වේශ සහගත කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, කීර්තිමත් ව්‍යාපාරයක් වන සිට්රස් ලෙෂර් සමාගම ඒ සම්බන්ධයෙන් බලවත් අසතුට ප්‍රකාශ කර සිටින බවත් කිව යුතුය.

    කෙසේවෙතත් මහජන කොටස් නිකුතුව මගින් ලබාගත් රුපියල් මිලියන 283ක මුදල මෙන්ම මුල් ආයෝජකයන් යෙදවූ මුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් යෙදවූ මුදල්ද සමාගම වෙනුවෙන් කෙටිකාලීනව හා මධ්‍ය කාලීනව උපායමාර්ගිකව ආයෝජනය කොට තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    තවද එම හෝටලය පැවැත්වෙන බවට ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් පෙන්වන ලද භූමියේ වීඩියෝ දර්ශන, යෝජිත හෝටල් භූමියේ සැබෑ දර්ශන නොවන බව මෙන්ම එම හෝටලයට ආයෝජනය කළ මුදල් අදාළ හෝටල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට ප්‍රකාශ කිරීම නොමඟ යැවීමට ගන්නා උත්සාහයක් බවත් අද දෙරණට අදහස් දැක්වූ එම හෝටල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.