සිහින යථාර්ථවත් කරන මහජන රැකියා සේවා මධ්‍යස්ථාන

    February, 29, 2016

    පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ සිය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, සිය දෙමාපියන්ගේත්, සහෝදර සහෝදරියන් තිදෙනාගේත් ජීවිත සැපවත් කළ හැකි රැකියාවක නිරත වීම දයාබරන් ධර්ෂිණීගේ සිහිනය විය. වර්තමානයවන විට ඇගේ එම සිහිනය යතාර්ථයක් බවට පත්ව ඇතත්, එතෙක් ධර්ෂිණී ආ ගමන් මග බෙහෙවින් කටුක විය.

    "වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන අපට රැකියා ඇබෑර්තු පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉතාම අඩුවෙන්." ඇය සිහිපත් කරන්නීය.

    සිය ප්‍රදේශයේ අලුතින් විවෘත කළ මහජන රැකියා සේවා මධ්‍යස්ථානය පිළිබඳ ඇය දැන ගන්නේ මේ අතරතුරය. මහජන රැකියා සේවා මධ්‍යස්ථානයේ සේවය කරන පුහුණුව ලත් නිලධාරීන් සමග සිය අපේක්ෂාවන් පිළිබඳ සාකච්ඡා කිරීමටත්, තමන්ට ඔබින රැකියා ඇබෑර්තු සහ වෘත්තීය මාර්ගෝපදේශන ලබා ගැනීමටත් එහිදී රැකියා අපේක්ෂකයන්ට පහසුකම් සලසා දී ඇත.

    සිය ජීව දත්ත සටහන ද අතැතිව ධර්ෂිණී මහජන රැකියා සේවා මධ්‍යස්ථානය වෙත ගමන කළේ අපේක්ෂාවන් රැසක් පෙරදැරිකරගෙනය.
    "මධ්‍යස්ථානයට ඇතුළුවන විට හිතේ විශාල බයක් සහ තැතිගැන්මක් තිබුණත්, එහි කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සුහදශීලි බව හේතුවෙන් විශාල සැනසීමක් දැනුණා." ඔවුන් මගේ තොරතුරු සටහන් කර ගැනීමෙන් අනතුරුව, මට ගැළපෙන රැකියාවක් හමු වූ විගස එය දැනුම් දෙන්නම් යයි පැවසුවා." ඇය ප්‍රකාශ කළාය.

    සති තුනක ඇවෑමෙන් ඇයට සුබවාදී පිළිතුරක් ලැබිණි. City Care නම් පෙරපාසලක සහ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැකියා ඇබෑර්තුවක් ඇති බව මහජන රැකියා සේවා මධ්‍යස්ථානයේ නිලධාරීහු ධර්ෂිණී හට දැනුම් දුන්හ. ළමා රැකවරණ මධ්‍යස්ථානයේ ගුරුවරියන් දෙදෙනෙකු සඳහා පුරප්පාඩු පැවති අතර මහජන රැකියා සේවා මධ්‍යස්ථානය විසින් ඒ සඳහා ධර්ෂිණී සමග සින්තුජා නම් තවත් තරුණියක් නිර්දේශ කර තිබිණ. මේ දෙදෙනාටම රැකියා හිමි විය.

    "ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරිය ලෙස මට ද, ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරිය ලෙස සින්තුජාට ද රැකියා හිමි වුණා. මගේ පවුල නගා සිටුවීමටත්, මගේ අනාගතය සුබදායක කර ගැනීමටත් හැකි හොඳ රැකියාවක් ලබා ගැනීමට හැකි වීම පිළිබඳ මා ඉතාමත් සතුටු වනවා."

    "හැමදාම සිහිනයක්ව පැවති මගේ බලාපොරොත්තුව ඉටු කර දීම වෙනුවෙන් මහජන රැකියා සේවා මධ්‍යස්ථානයට ,මගේ හදපිරි කෘතඥතාව පුද කර සිටිනවා. නොමිලයේ ම ලබා දෙන මෙම විශිෂ්ට සේවාව පිළිබඳ මා මගේ මිතුරන් ද දැනුම්වත් කළා."

    වවුනියාව දිස්ත්‍රික්කයේ පළමු මහජන රැකියා සේවා මධ්‍යස්ථානය 2015 වසරේ ජුනි මාසයේදී ආරම්භ කරන විට කෙටි කලක් තුළ මෙතරම් ඵලදායී ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බව වවුනියාව මහජන රැකියා සේවා මධ්‍යස්ථානය භාරව කටයුතු කරන සුරේෂ් කුමාර් මහතා සඳහන් කළේය.

    "2005 වසරේදී මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව පිහිටුවන විට වවුනියාව දිස්ත්‍රික්කයේ එක්-එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත අප යොමු කෙරුණා. රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිස රැකියා සඳහා යොමු කිරීම අපගේ කාර්යභාරයේ එක් අංශයක් පමණක් වුණා." ඔහු සිය මතකය අවදි කළේය. "අපගේ කාර්යාලය තුළ ඉඩකඩ සීමාසහිත වීම නිසා අපගේ කටයුතු ඉටු කර ගැනීමේදී විවිධ බාධාවන් මතු වුණා. රැකියා අපේක්ෂිතයන්ගේ දත්ත ගබඩා කිරීම සඳහා අපට වෙනම පරිගණක පහසුකම් තිබුණේ නැහැ. පරිගණකවල විවිධ තාක්ෂණික දෝෂ මතු වුණා. මෙවැනි හේතු නිසා රැකියා අපේක්ෂිතයන් බොහෝ දෙනෙකුට ආපසු හැරී යාමට සිදු වුණා."

    මෙම ගැටළුව හඳුනා ගත් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මහජන රැකියා සේවා මධ්‍යස්ථාන සංකල්පය යතාර්ථයක් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග අත්වැල් බැඳ ගත්තේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) අරමුදල් යටතේ මහජන රැකියා සේවා මධ්‍යස්ථානය ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි විය. යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් ඔවුන්ගේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන EU-SDDP වැඩසටහන මගින් පිරිනමනු ලබන සමස්ත මුල්‍යමය ආධාරය යුරෝ මිලියන 60කි.

    "අප රැකියා අපේක්ෂිතයන් සමග මෙන්ම සේවා යෝජකයන් සමග ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඔවුන්ගේ අපේක්ෂාවන් වෙන වෙනම හඳුනා ගැනීමට කටයුතු කරනවා." සුරේෂ් මහතා ප්‍රකාශ කළේය.

    මාස පහක් වැනි කෙටි කලක් තුළ 350 කට අධික රැකියා අපේක්ෂිතයන් පිරිසක් මහජන රැකියා සේවා මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති අතර, 130 කට අධික පිරිසක් සඳහා සුදුසු රැකියා අවස්ථා හිමි කර දීමට එය සමත්ව සිටී.

    "ධර්ෂිණී මෙන්ම බොහෝ දෙනෙකුට, තමන්ගේ හැකියාවන්ගේ උපරිම ඵල නෙලා ගත හැකි රැකියා අවස්ථා ලබා දීමට මහජන රැකියා සේවා මධ්‍යස්ථානය උපකාරී වී තිබීම පිළිබඳ අප සැබවින්ම තෘප්තිමත් වනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය, යුරෝපා සංගමය වැනි අනුග්‍රාහක ආයතන සමග එක්ව, තරුණ-තරුණියන්ගේ කුසලතාවන් සේවා යෝජකයන්ගේ අවශ්‍යතාවන්ට අනුව ගැලපීම සඳහා අඛණ්ඩව කැප වනවා. මේ තුළ ඵලදායී සේවානියුක්ති සේවා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ." ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ ඩොංග්ලිං ලී මහතා සඳහන් කළේය.

    රුක්ෂාන් ලොවෙල්
    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාලය