සීනි සහ සිමෙන්ති කර්මාන්තයේ ආයෝජනයට පකිස්ථාන ආයෝජකයින්ට ආරාධනා

    October, 18, 2017

    ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් සීනි සහ සිමෙන්ති කර්මාන්තවල ආයෝජනය සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා පකිස්ථාන ආයෝජකයින්ට ආරාධනා කරයි.
    දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම්  Tehmina Janjua මහත්මිය ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ආරාධනය සිදු කළේය.
    පකිස්ථානය ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලීන සුහදශීලී මිත‍්‍රයෙක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
    පසුගිය යුද සමයේදී පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් පරිත්‍යාගශීලී සහයෝගය පිළිබඳව පකිස්ථානය වෙත සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා,  මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට දක්වන සහය පිළිබඳව ද ස්තුතිය පළ කළේය.
    මෙහිදී අදහස් දැක්වූ පකිස්ථාන විදේශ ලේකම් Tehmina Janjua මහත්මිය සඳහන් කළේ, ජිනීවා නුවර පැවති මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට ලැබුණ අවස්ථාව පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බවය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ඉහළ දැමීමට පකිස්ථානයට දියහැකි සෑම සහයක්ම ලබා දෙන බව ද Tehmina Janjua මහත්මිය ජනාධිපතිතුමා වෙත දන්වා සිටියේය.
    ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට නව ජවයක් එක්කරමින් සත්ත්ව ගොවිපොළ සහ කිරි නිෂ්පාදනය සඳහා ආධාර ලබාදීමට පකිස්ථානය ඉදිරියේදී අපේක්ෂා කරන බව ද විදේශ ලේකම්වරිය වැඩි දුරටත් සඳහන් කළාය.
    දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ මීළඟ රාජ්‍ය නායක සමුළුව පකිස්ථානයේ දී පැවැත්වීමට ශ‍්‍රී ලංකාවට දිය හැකි සහය ලබා දෙන බව ද ජනාධිපතිතුමා මෙහිදි සඳහන් කළේය.
    පකිස්ථානයේ අධ්‍යාපනය ලැබූ ශ‍්‍රී ලාංකිකයන්ගේ ශිෂ්‍ය සංගමයක් විවෘත කිරීමට ද මෙම ශ‍්‍රී ලංකා සංචාරය තුළදී පකිස්ථාන විදේශ ලේකම්වරිය එක්වීමට නියමිතය.
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාර්යවසම්, පකිස්ථානයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හස්මාට් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.